27 C
Colombo
27/11/2024

අවශ්‍යම සේවකයන් හැර අනෙක් අය සේවයට ගෙන්වන්න එපා

Share with your friends :

ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එසේම උත්සව සාදවලට මේ මොහොතේ සහභාගීවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආයතනවලට සේවකයන් හිතෙන හිතෙන පරිදි කැද වුවහොත් කොවිඩ් අවදානම උත්සන්න විය හැකි බවත් අවශ්‍යම සේවකයන් පමණක් මේ මොහොතේදී කැඳවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සමහර ආයතනවලට වැඩිපුර සේවකයන් කැඳවන බවට වාර්තා ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. මේ මොහොතේ අප කතා කළ යුත්තේ රට වැසීම ගැන නොවන බවත් රට නොවැසෙන තැනට වැඩ කිරීම පුරවැසියන් සැමගේ වගකීම බවත් යුද හමුදාපතිවරයා කීවේය.

බහුතර පිරිසක් ඉල්ලා සිටින්නේ රට නොවසන ලෙස යැයිද ඔහු පැවසුවේය. සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන්ම සුපිරි වෙළෙඳසල් ඇතුළු පොදු ස්ථානවලදී ජනතාව බෙහෙවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Share with your friends :