27 C
Colombo
19/01/2025

කොවිඩ් රෝගීන් ට නිවෙස් තුළම ප්‍රතිකාර

Share with your friends :

දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදුකිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සංකූලතා නොමැති, අඩු අවදානම්, සුළු රෝග ලක්ෂණ පෙන්වන ඛාණ්ඩයට අයත් ආසාදියන් නව ක්‍රමවේදය යටතේ නිවෙස් තුළ තබා ප්‍රතිකාර කිරීමට සැලසුම් කර තිබේ.

රෝග ලක්ෂණ නොමැති සහ සුළු රෝග ලක්‍ෂණ සහිත කොරෝනා ආසාදිතයින්ගේ කැමැත්ත මත නිවෙස් නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය උපදේශන මාලාවක් නිකුත්කර තිබුණි.

එම උපදෙස් මාලාවට අනුව:

01. නිවෙස් නිරෝධායනයට යොමුකෙරෙන ආසාදිතයින් පරීක්ෂා කරමින් සහායවීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට පැවරෙයි.

02. නිවෙස් නිරෝධායනය සඳහා රෝගීන් යොමුකිරීමේදී සළකා බැලෙන කරුණු කිහිපයක් ද සඳහන් ය.

– ඒ අනුව ආසාදිතයා වයස අවුරුදු 02 ත් 65 ත් අතර විය යුතුය.

– ඔහු හෝ ඇය සනීපාරක්ෂක පහසුකම් සහිත හොඳින් වාතාශ්‍රය ඇති වෙනම කාමරයක නිරෝධායනය විය යුතුය.

– ආසාදිතයාට තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද, පෙනහළු, වකුගඩු වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් නොතිබිය යුතු වෙයි.

– නිරෝධායනයට යොමු වන ස්ථානයේ නිසි සන්නිවේදන පහසුකම් සහ සන්නිවේදන හැකියාව තිබිය යුතුය.

03 .ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) විසින් නිවෙස් නිරෝධායනය සඳහා සුදුසුකම්ලත් අදාළ පුද්ගලයින් ‘නිවෙස් නිරෝධායනය කිරීමේ
සහ කළමනාකරණ පද්ධතිය’ (PHIM) තුළ ලියාපදිංචි කළ යුතුය.

04. පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් හරහා රෝගීන්ගේ කළමණාකරණ කටයුතු සිදුකෙරෙයි.

ඒ අනුව වෛද්‍යවරයෙකු විසින් රෝගියා පිළිබඳ මූලික තක්සේරුවක් සහ දෛනික අධීක්‍ෂණයක් සිදුකළ යුතුය.

05. රෝගී තත්ත්වය මත රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරීමට අවශ්‍ය නම් ඔවුන්ව ක්ෂණිකව රෝහල් ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

දැනට බස්නාහිර පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක සංකූලතා නැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමේ මෙම ක්‍රියාවලිය ලබන සඳුදා සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක සිදුකිරීමට නියමිතය.

නිවෙස් නිරෝධායනය සිදුවන ආකාරය සම්බන්ධයෙන් “අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහනේදී අද (06) අදහස් පළවිය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා…

“රෝහල්වල වෙන්න පුළුවන් සමාජයෙන් වෙන්න පුළුවන් රෝගීන් හඳුනගෙන ඔය සංකූලතාවයන් නැති රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් අපි රෝහල් කරා ගෙනියලා ගාල් කරන්නේ නෑ. අපි එම රෝගීන්ට නිවෙස්වල ඉඳලා වෛද්‍යවරයෙක් මාර්ගයෙන් උපදෙස් දෙනවා. දුරකථන පහසුකම් හරහා සම්බන්ධ වෙමින් අදාළ උපදෙස් ලබාදීලා දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ වුණාට පස්සේ නිදහස් කරනවා. MOH සහ PHI මහත්වරුන්ට අපි උපදෙස් ලබාදුන්නා. උණ තියෙනවා නම්, ඇඟපත වේදනාව තියෙනවා නම්, මහන්සිය අධික ලෙස දැනෙනවා නම්, උගුර රිදෙනවා නම්, හුස්ම ගැනීමේ අපහසුතාවයන් තියෙනවා නම් රෝහලක් කරා යොමු කරන්න කියලා. නමුත් ඒක ලාවට දැනුනත් දැනෙයි කියලා හිතෙන මිනිස්සුත් රෝහල් කරා යොමු වෙනවා. ඒකයි මේ රෝහල් පිරෙන්නේ. මොකද මිනිස්සු බයයි. බය වෙලා වැඩක් නෑ. බය වෙන්න කලින් පරිස්සම් වෙන්න ඕනේ.”

Share with your friends :