27 C
Colombo
25/01/2025

සරණ ගුණවර්ධනත් අල්ලස් නඩු අටකින් නිදහස්

Share with your friends :

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය .
තාක්ෂණික දෝෂයක් මත එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බැවින් මෙම නඩු ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීමකට අනුව එම චූදිත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය .

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්තිය ප්‍රකාරව මෙම නඩු අටෙන් චූදිත නිදහස් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ මෙම නඩු ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනෙකුගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවය.

මෙම නඩුවේ චූදිත සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා සඳහන් කර සිටියේ මෙම නඩු කෘත්‍යයන් පවත්වාගෙන යාමට අපහසු නම් තම සේවාදායකයා නඩුවලින් නිදහස් කරන ලෙසය.

ඒ අනුව, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු අටකින් චූදිත නිදහස් කරන ලෙස නියෝග කළේය.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව එම නඩු ගොනු කර තිබුණි.

Share with your friends :