27 C
Colombo
20/01/2025

ලන්ච් ෂීට් තහනමට සුපිරි වෙළෙඳසැල් සහය

Share with your friends :

කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහය දැක්වීමට මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලයේ සියලු නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.
කෙසේ වෙතත් රජයේ නව තීරණය නිසා ඒ සඳහා අමතර වියදමක් දරන්නට ජනතාවට සිදුවේ. ලොව දියුණු රටවල පවා මෙවැනි තහනම් ක්‍රමවේද ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට දැනට ක්‍රියාත්මක සියලු සුපිරි වෙළෙඳසැල්වල නියෝජිතයන් අතර පරිසර අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී මෙම එකඟතාව පළ වී ඇත. දිරාපත් වන ලන්ච්ෂීට් අලෙවිය රට වෙනුවෙන් කරන සේවාවක් බැවින් ලාභය නොසලකා ඊට සහයෝගය දෙන්නැයි අමාත්‍යවරයා සුපිරි වෙළෙඳසැල් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඔවුහු ඊට එකඟතාව පළ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

2017 දී පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් තහනම සම්බන්ධව ගැසට් නිවේදනයක් පළ කර තිබුණත් එම තහනම මෙතෙක් විධිමත් ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද මහින්ද අමරවීර මහතා පැවසීය. නොදිරන ලන්ච්ෂීට් තහනම ලබන 1 වැනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක බව කී ඇමතිවරයා ජනතාවට ඒ වෙනුවෙන් විකල්ප හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.
විසඳන්නට රටේ දහසකුත් ගැටළු තිබියදී සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම පවා බරපතල ගැටලුවක්ව තිබියදී මෙවැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු රටේ සාමාන්‍ය ජනතාවට විහිළුවක් වෙමින් පවතී.

Share with your friends :