27 C
Colombo
19/01/2025

දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවට

Share with your friends :

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත්කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට දේශපාලන පක්ෂ 7ක් කැඳවා ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

එම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ වේ.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් එම කමිටුව 28 දා පස්වරු 2ට පාර්ලිමේන්තුවේ දී රැස් වෙයි.

මේ වනවිට ආරාධනා කර ඇති පක්ෂ අතුරෙන් ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, දෙමළ සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමත්තුවකච්චි පක්ෂය තම සහභාගිත්වය ස්ථීර කර ඇතැයි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මවුබිම ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානය මෙතෙක් තම සහභාගීත්වය තහවුරුකර නොමැත.

පසුගිය 14 වනදා තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය සිය යෝජනා ඉදිරිපත් කළේය.

මැතිවරණ සහ මැතිවරණ ව්‍යූහයේ නීති රීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය අප්‍රේල් මාසයේදී පත්කළේය.

Share with your friends :