වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්ය සේවයෙන් විශ්රාම ලැබුවන්ට 2020.01.01 සිට ගෙවීමට කටයුතු කර තිබු විශ්රාම වැටුප වහාම ලබාදෙන්නැයි ඉල්ලමින් පාගමනක් හා උද්ඝෝෂණයක් අනුරාධපුර නගරයේදී පැවැත්විණි.
විශ්රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර ශාඛාවේ මෙහෙයැවීමෙන් පැවැති මෙම පෙළපාලියට එක්වූ විශ්රාමිකයෝ අනුරාධපුර නගරයේ ඩී .එස්.සේනානායක වටරවුම අසල සිට මහාවීදිය ඔස්සේ ඔරලෝසු කණුව වටරවුම දක්වා ගොස්, එතැනදී පැය භාගයකට වැඩි කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.
මේ පෙළපාලිය හා උද්ඝෝෂණය නිසා නගරයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවූ බැවින් වාහන හැසිරවීමට අනුරාධපුර පොලිසියටද මැදිහත්වීමට සිදුවිය.