27 C
Colombo
19/01/2025

ජනපති – ශ්‍රීලනිප සාකච්ඡාවක් හෙට

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම සාකච්ඡාව හෙට පෙරවරු 11.00 ට අදාළ පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනාටම ඊට සහභාගීවීමේ අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එම අවස්ථාව නොලැබුණහොත් පක්‍ෂ සභාපතිවරයා සමඟ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සමඟ තමන් එම සාකච්ඡාවට සහභාගී වන බව ද ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවේ දී සාකච්ඡා කළ යුතු කරුණු සම්බන්ධයෙන් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හෙට පෙරවරු 9.00 ට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීමේදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ ඇති සාමාජිකයින් පිරිසක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට අනුරාධපුරයේ දී පැවති විනය පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. ආණ්ඩුවෙන් ඉවත්වීමේ අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැතැයි කී දුමින්ද දිසානායක මහතා තම පක්‍ෂයේ ද සහයෝගයෙන් ගොඩනැගූ ආණ්ඩුව තුළ ඉදිරියටත් රැඳී සිටින බව ද කීවේය.

Share with your friends :