27 C
Colombo
19/01/2025

‘පුරවර විශ්වවිද්‍යාල’ පළමු අදියර කෑගල්ලට

Share with your friends :

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙහි අපේක්ෂාව ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු නිර්මාණය කිරීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

උපාධියක් ලබාගන්නා බහුතරය රජයේ රැකියාවක් අපේක්ෂා කරන නමුත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිවරයා පැවසීය.

පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ “ලෝක තරුණ නිපුණතා දින සැමරුම – 2021” ට සමගාමීව පුරවර විශ්ව විද්‍යාල වැඩසටහන් සංකල්පය හඳුන්වාදෙමින් එහි නිල වෙබ් අඩවිය වන අඅඅගජමග්ජගකන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පුරවර විශ්ව විද්‍යාල ස්ථාපිත කෙරේ.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් සියයට 80කට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වන අතර ආර්ථික හැකියාව ඇති අය පෞද්ගලික හෝ විදෙස් විශ්ව විද්‍යාල සඳහා යොමු වන අතර ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්ව විද්‍යාල වැඩසටහනේ අපේක්ෂාව වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ සියයට සියයක් රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙනයාමට හැකියාවක් නොමැති වුවත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බවයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහාම වෙන් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ද ගෝඨාභය රාපපක්‍ෂ මහතා සඳහන් කළේය.

කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්ව විද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

Share with your friends :