27 C
Colombo
21/01/2025

ශ්‍රී.ල.නි.පය ජනපති හමුවීමෙන් පසු බැසිල් හමුවීමටත් සූදානම්

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ද හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂයේ මහ ලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ලබන 21 වනදා පැවැත්වෙන බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවට ඊයේ පෙරේදා පැමිණි පොඩි ළමයි තමා සම්බන්ධයෙන් කරන යම් යම් ප්‍රකාශ ගණන් නොගන්නා බව කී ජයසේකර මහතා තමා ඒවාට උත්තර දෙන්නේ නැතැයි ද කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්සල ආයතනයේ සැපයුම්කරුවන් 12 දෙනෙක් වෙනුවෙන් ගෙවීමට තිබූ හිඟ මුදල් ලබාදීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දකවමිනි.

කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලක්සල ආයතනයේදී මෙම මුදල් ප්‍රදානය සිදුකෙරුණු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයින් මෙරටට නොපැමිණීම මත ලක්සල ආදායම සියයට 90කින් පමණ පහත වැටී ඇතැයි ද මෙහිදී සඳහන් විය.

එසේ වුවත් ලක්සල ආයතනය වෙත භාණ්ඩ හා නිෂ්පාදන සපයන සැපයුම්කරුවන් වෙත නිසිපරිදි මුදල් ගෙවීම සිදුකිරීමට පියවර ගෙන ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා සැපයුම්කරුවන් 258 දෙනකු වෙත රුපියල් කෝටි 3 කට අධික මුදලක් ගෙවීමට කටයුතු සූදානම් කර ඇතැයි ද පැවසීය.

බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නැතැයි කී රාජ්‍ය ඇමතිවරයා මොන පක්ෂයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නැතැයි ද කීවේය.

ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන කරුණු දැන්ම කිව නොහැකි බව කී ජයසේකර මහතා අපේ ජනාධිපතිතුමා හමුවෙන්න පදනමක් අවශ්‍ය නැතැයි ද පැවසීය.

Share with your friends :