එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික සහ සංවර්ධන කටයුතු වේගවත් සහ කාර්යක්ෂම කිරීම මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වේ.
මෙහිදී මේ වන විට ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් ඉවත් කිරීමට නියමිතය. මේ කෙටි කාලයේ දක්ෂතා හා ප්‍රගතියක් පෙන්වූ රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ලෙස පත් කොට වඩා වැඩි වගකීම් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන බව ආරංචි මාර්ග පවසයි. ඇතැම් අමාත්‍යාංශවල කාර්යසාධනය යහපත් වුවත් ඒ පිළිබඳව ජනතාව අතර ප්‍රචලිත නොකිරීම ගැන ජනාධිපතිවරයා තුළ පවතින කනස්සල්ල මෙම සංශෝධනයේදී මුදා හැරෙනු ඇතැයි සඳහන් වේ. එසේම ආණ්ඩුව හැරදා යනු ඇතැයි සැක සහිත ඇතැම් පාර්ශව වලබලතල මෙහිදී සීමා කෙරෙනු ඇත.
ඇතැම් විෂයයන් සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කර ඒවායේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගියත් අදාළ ඇමැතිවරු ඒ ගැන කතා නොකිරීම රජයට දැඩි අවාසියක් ගෙන දෙන කාරණයක් වී තිබෙන බව රජයේ අවධානයට යොමුව තිබේ. තම මෙහෙවර ගැන ජනතාව දැනුවත් කරමින් රජයේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ඇමැතිවරුන්ට වැඩි වගකීම් ලබා දීමට නියමිතය. ඇමැතිවරු රටට ගැළපෙන සේ කටයුතු කරනු විනා ඇමැතිවරුන්ට ගැළපෙන සේ රටේ අමාත්‍යාංශ බෙදීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ජනාධිපතිවරයා එම විවේචන එල්ල කළ අයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත.
පක්ෂයේ ප්‍රවීණත්වය, පක්ෂයට කළ මෙහෙවර, විපක්ෂයේ සිටියදී අතනොහැර සිටීම, හොඳට මැතිවරණ කටයුතුවල යෙදීම නායකත්වයට ඇති සබඳතාව ආදිය මෙවර කැබිනට් සංශෝධනයේදී සලකා නොබැලේ. එසේම ප්‍රාදේශීය වශයෙන් දූෂිත ක්‍රියාවල යෙදෙන තම ආධාරකරුවන් ආරක්ෂා කරන, ආයතන හා ව්‍යාපාරවලට බලපෑම් කරන අය ඇමැති තනතුරුවලින් නෙරපා හැරෙනු ඇත.
කාර්යක්ෂමතාව පෙන්වන තරුණ ඇමැති මණ්ඩලයක් කෙරෙහි අවධානය යොමු කෙරෙන මෙම සංශෝධනයේදී සෞඛ්‍යය, පොලිසිය, කම්කරු, අධ්‍යාපන ආදී විෂයයන් වෙනසක් වීමට නියමිත බව පැවසේ.