27 C
Colombo
17/11/2024

අසේල සම්පත් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරේ

Share with your friends :

කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය .
මින් ඉදිරියට වගකීම් විරහිත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසට සැකකරුට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය එලෙස ඇප මත ඔහු මුදා හැරියාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් මෙම සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුවය. මෙරටට ගෙන්වන ඇස්ට්‍රාසෙනෙකා එන්නත බාලකිරීමක් සිදුකර ජනතාවට ලබාදෙන බවට අසත්‍ය ප්‍රකාශයක් අසේල සම්පත් මහතා විසින් සිදුකර ඇති බව අදාල පැමිණිල්ලේ සඳහන් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Share with your friends :