27 C
Colombo
21/01/2025

දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම ගැන හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

Share with your friends :

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

තමා අදහන බුදුදහම අනුව දුමින්ද සිල්වා මහතාට සමාව දී අවසන් බවත්, එසේ වුවත් රටේ පවත්නා නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනකු ලබාදුන් තීන්දුව කුණුකූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ඔබතුමා නම් මේ රටේ නීතියක් කුමකටද?’ යනුවෙන් ඇය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය. එක් රටක් — එක් නීතියක් තේමාව යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා හිතුමතේ වැරදිකරුවන් නිදහස් කරන්නේ නම් රටට සිරගෙවල්, නීතියක් හා විනිසුරන් කුමකටදැයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා කිහිප දෙනෙකුගේ අතකොලුවක් බවට පත්ව ඇති බවත්, එසේ නොවී ඔහු මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ, පූටින් වැනි නායකයන්ගේ සංකලනයක් යයි සිතා 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කෙලින් තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය යොමු කළ ලිපියේ දැක්වේ.

දුමින්ද සිල්වා මහතා ඉදිරියේදී මහඇමති අපේක්‍ෂකයකු ලෙස හෝ දේශපාලනයට ගෙනැවිත් ජයග්‍රහණය කළ ද තමා පුදුම නොවන බවත්, ජනතාව අයුක්තිය නැමති යදම් බිඳදා නැගී සිටින දිනය වැඩි ඈතක නොවනු ඇති බවත් ඇය කියා සිටී.

Share with your friends :