27 C
Colombo
20/01/2025

රිෂාඩ්ලා ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයි

Share with your friends :

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන ජූලි 6 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.

ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ තෙවැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතාය.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ

කිසිදු නීතිවිරෝධී කටයුතු වලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.‍එහි වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිස් අධ්‍යක්ෂවරයා , මහජන ආරක්ෂාව පිලිබද අමාත්‍යවරයා , එම අමාත්‍යාංශය ලේකම් , ආරක්ෂක ලේකම්වරයා , පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.

Share with your friends :