27 C
Colombo
19/01/2025

ජනතාවට ජීවත්වෙන්න විදිහක් නැති කරලා – සජිත්

Share with your friends :

ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කර ගන්න ආණ්ඩුවට නොහැකිනම් එය සිදු කළ හැකි කණ්ඩායමකට රට බාරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .
“ජනතාවගේ ජන දුක නිවනවා වෙනුවට මේ ආණ්ඩුව තව තවත් ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. කොරෝනා වසංගතයෙන්, පොහොර අර්බුදයෙන්, රැකියා අර්බුදයෙන්, දරුවන්ට අධ්‍යාපනය නොමැති කමින්, පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් කළා. ජනතාවට කොවිඩ් එන්නත නැහැ, ආණ්ඩුවේ බලවතුන්ට විතරයි අද එන්නත තියෙන්නේ. අද මවුවරුන්ට මන්ද පෝෂණය, දරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ, ජනතාව එදා කන්න නැතුව අන්ත අසරණ වෙලා ඉන්නවා.

ගොවියන් ධීවරයන් මධ්‍යම ප්‍රාන්තික රජයේ සේවකයාට අද ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ අය නගාසිටුවන්න මේ අයට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ජනතාවට සහන දෙන්න බැරි රට සංවර්ධනය කර ගන්න බැරි ආණ්ඩුවට අපි කියනවා බැරිනම් දාලා යන්න කියලා. මේ රට ඉදිරියට ගෙනයාමේ වගකීම භාර ගන්න අපි සූදානම්. ජන සමාජයේ සියලුම වෘත්තිකයන් නියෝජනය කරන්න තමයි අද අපි මේ ජනතාව භාවිතා කරන වාහන අරගෙන පාරට ආවේ. වැඩි කරපු ඉන්ධන මිල පහත හෙලා වහාම ජනතාවට සහන දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අපි මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. දේශ ද්‍රෝහීන් කවුද දේශප්‍රේමීන් කවුද කියලා මේ විශ්වාසභංග යෝජනාවෙන් ජනතාවට බලා ගන්න පුළුවන්” යයිද ඔහු එහිදී පැවසීය.

Share with your friends :