27 C
Colombo
20/01/2025

ණය කරුවන්ට සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Share with your friends :

කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීමට සුදුසු පියවර අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලා එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව කොවිඩ් වසංගත තත්වය හමුවේ මුහුණ දෙන ගැටලු කෙරෙහි ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණයකරුවන් ණය මුදල ගෙවීමට නොහැකි තත්වයට පත්වන බවත්, පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත්බවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ මහබැංකු නියෝජිතයෝ කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව කරුණු පැහැදිලි කළහ.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි එස්. සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී.රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී.නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්.කරුණාරත්න, ඒ.ඒ.එම්.තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්‍ෂ සී.අමරසේකර, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්‍ෂ සමන් නානායක්කාර මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share with your friends :