27 C
Colombo
21/01/2025

පාස්කු ප්‍රහාරයෙන් වාසිගත් හා යුක්තිය ඉටු නොකරනවුන්ට දඬුවම් කරන්න-කාදිනල් හිමි දෙවියන්ගෙන් ඉල්ලයි

Share with your friends :

පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ සහ අදටත් වින්දිතයින්ට යුක්තිය ඉටු නොකර වගකීම් පැහැර හරින සියලුම දෙනාට දේව නීතිය අනුව යුක්තිය ඉටුකරලීමට මැදිහත් වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ශාන්ත අන්තෝනි මුණීන්ද්‍රයන්ට යාඥා කළේය.

“ඔබවහන්සේගේ මේ සිද්ධස්ථානය තුළ ද කටුවාපිටියේ ශුද්ධ වූ සෙබස්තියන් මුණි දේවවිමන තුළ ද වෙනත් ස්ථාන කිහිපයකදී ද එදා 2019 අප්‍රේල් 21 වෙනිදා ඝාතනය කරනු ලැබූ ඒ සියලු දෙනා අපි ඔබවහන්සේට භාර කරමු. ඒ ව්‍යසනයෙන් ශාරීරික ආබාධවලටත් සිය ආදරණීයයන් අහිමි වූ නිසා පීඩාවටත් වේදනාවටත් පත්වූ අයටත් ඔවුන්ගේ ඒ වේදනාව තුනී කරගන්නට සහය වුව මැනව.

හිතුවක්කාර ලෙස අන්තවාදයට යටවී මේ අසරණයින්ගේ ලේ ශුද්ධ භූමිය තුළ හෙළා ඒ ව්‍යසනය සිදුකළ සියලු දෙනාටත් එයට අනුබල දුන්, දැන් තමන් ශුද්ධවන්තයින් යැයි සිතමින් උදම් අනන අයවලුන්ටත් තමන්ගේ යුතුකම පැහැර හැරි දේශපාලන ලාභ ප්‍රයෝජන සඳහා මේ ව්‍යසනය ගැන දැන දැනත් එය වැළැක්වීමට කටයුතු නොකළ දේශපාලකයින්ටත් විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන්ටත් යුක්තිය ඉටුකරලීමට දෙවියන් වහන්සේ ඉදිරියේ බලවත්ව මැදිහත් වුව මැනව.

මේ අසරණයින්ගේ ලෙයින් දේශපාලන වාසි ලබාගන්නට කටයුතු කළ හා ඔවුන්ට යුක්තිය ඉටු නොකර අදටත් සිය වගකීම පැහැර හරිනවුන්ටත් දේවනීතිය තුළ වූ යුක්තිය ඉටුකරලීමට කටයුතු කළ මැනව.
මේ ඔබවහන්සේගේ ශුද්ධ භූමිය තුළ හැළුණු ඔබ බැතිමතුන්ගේ ලෙය මේ යුක්තිය ඉල්ලා ස්වර්ගයට මොරගසයි. මිනිස් නීතිය තුළින් ලබාගත නොහැකි යුක්තිය ඔවුන් වෙනුවෙන් ඉටුකර දීමට දයාබරිත ශුද්ධවන්ත වූ මුණිඳුනි, ඔබවහන්සේ අපට දෙවියන් වහන්සේ අපට දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්වී ක්‍රියාකාරී වුව මැනව … ආමේන් …”

මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මෙසේ යාඥා කළේ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයේදීය.

Share with your friends :