27 C
Colombo
15/11/2024

කැබිතිගොල්ලෑව බෝම්බයෙන් මියගිය අම්මා එනතුරු වසර 15 ක් බලාසිටින හංසි

Share with your friends :

හැට ගණනක් සොහොන් වලවල් පසුකරගෙන උදේ පාසල් බස් රිය කැබිතිගොල්ලෑවට ළඟාවනවිට හංසිට අම්මා මතක් වෙයි. මේ දිනවල නිවසට සිරවී සිටින හෙයින් අමමා වෙනුවෙන් දකින ඒ දසුන ද දකින්නට නොවේ.
සමහරු දාන මාන පිංකම්වලට සූදානම් වෙති. එවිට නොදුටු අම්මා ගැන හංසීට නොයෙක් සිහින මැවෙනු ඇත. එදා වයස මාස අටේ දී මවගේ කිරි ඉල්ලා හැඬූ හංසිගේ දෙනෙතේ දුක අදටත් පහව ගොස් නැත. අදත් හංසි තාත්තාගේ තුරුළේ ය. මව මියැදී අදට ( ජූනි 15දාට) හරියටම අවුරුදු පහළවක් සම්පූර්ණ වෙයි. ඒ කැබිතිගොල්ලෑව , යකාවැව බස්බෝම්බයෙන් කැලේට විසිවී ගිය පියුමි හංසිකාගේ කතාව ය.

2006 වසරේ ජූනි මාසය වන විට ත්‍රස්ත යුධ ගිණිදැල් කැබිතිගොල්ලෑවට ළංවී තිබුණි. මහ නිකවැව ප්‍රදේශයේ සිදු වූ කොටි ප්‍රහාරයකින් යකාවැවේ වැසියන්ගේ ඥාති ග්‍රාමාරක්ෂක භටයින් කිහිපදෙනෙක් මියගොස් වව්නියාව මහ කච්චකොඩිය ගමේ අදාහන කටයුතු සූදානම්ව තිබුණි.
ඒ ගමට යාම සදහා යකාවැවේ ඒ ආරියසේනගේ බිරිය රේණුකා මල්කාන්ති ද මාස අටක් වයසැති බිළිඳිය වඩාගෙන උදේ කැබිගොල්ලෑව බලා යන බසයට ගොඩවූවා ය. බස් රථය යකාවැව ගම්මුන්ගෙන් පිරී තිබිණි. හම්මිල්ලවැටිය ගම පසුකර විහාර හම්මිල්ලෑව ගමට මෙපිටින් කුඹුරු යායක් අසල දී බසය ක්ලේමෝ බෝම්බයකට හසුවී හැට ගණනක් එකගොඩේ මියැදෙන විට මල්කාන්ති ද ඒ හැට ගණනට අයත් වුණා ය. යතුරු පැදියෙන් කැබිතිගොල්ලෑව කරා යමින් සිටි ආරියසේනට පණිවිඩයක් ආවේ මියගිය හැමෝම කැබිතිගොල්ලැව රෝහලේ සිටින බවටයි.
කැබිතිගොල්ලෑව රෝහලේ සාලය මැද අතුරා තිබූ දේහයන් අතර මල්කාන්තිද සුදු සාරිය රතුවී දෑස් පියාගෙන සිටියා ය. මිය ගිය ළමා ළපටීන් හරවා බලමින් ආරියසේන විලාප නැගුවේ හංසි නැති බව කියමිනි.
සුළු මොහොතකින් ආරියසේන අදහාගත නොහැකි දසුනක් දුටුවේ ය. ඒ හංසි බබා රෝහලේ හෙදියන් අතේ නැළවෙමින් සිටින දසුනකි.
පැති බෝම්බය පුරුද්දී මවගේ තුරුළේ හුන් හංසි බසයේ පැති වීදුරු අතතරින් වීසි වී අසල කුඹුරු යායේ බැද්දට ඇද වැටී ය. ඇය හැට අට දෙනාට අයත් නොවිණි. ‘මගේ දුම අම්මා‘ යි කියමින් ඇයව බදාගත් ආරියසේන එදා මල්කාන්තිගේ දේහය අසල වැළපුණු හැටි අපට අදටත් මතක ය. මේ ඡායාරූපය ඒ මොහොතේ මවිසින් සටහන්කරගත්තකි.
පියා හා දිගුකලක් සරණාගත කඳවුරුගත ජීවිතයක් ද ගෙවා ලොකු අම්මාවරුන්ගේ හ කිරි අම්මාගේ ආදරය කරුණාව ලද හංසි දැන් පියා හා යකාවැවේ ගමේ දිවි ගෙවයි. පියාගේ ජීවිතය පුංචි අම්මා කෙනෙකුගේ ආගමනයෙන් අලුත් වුවත් ආර්ථිකය අලුත්වී ඇති බවක් දක්නට නැත. සෙල්ලම් කරන්නට මල්ලීලා එකතු වුවත් ගේ දොර කලඑළිය වැඩිවී නැත්තේ ය.
අදත් හේනේ තල මල් පූදින විට, වෙසක්-පොසොන් සුළඟ ශෝකය සිහිල නංවන විට ආරියසේනට මල්කාන්ති මැවී පෙනේ. එවිට ඔහු පුංචි දුව තුරුළට ගෙන ඒ දුක තුණී කරගනී.
5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු සියයක් ගත් හංසි 2016 යකාවැවෙන් කැබිතිගොල්ලෑව ජාතික පාසලට ඇතුල් වුනේ 6 ශ්‍රේණියටයි. දැන් ඇය සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වෙයි. . යකාවැව ගමේ සිට කැබිතිගොල්ලෑව ගමන බිමන තවමත් දුෂ්කර ය. එසේ හෝ යන පාසල් ගමන වෙනුවට මේ දිනවල නිවසේ සිට කරන ස්වයං අධ්‍යයනය පිටිසර යකාවැව නිසාම ඊටත් වඩා දුෂ්කර ය.
පියා සිවිල් ආරක්ෂක සේවයේ වැඩට යන විට ඇය වියපත් කිරි අම්මාට තුරුළු වී සිටී. කන් නෑසෙන කිරි අම්මා ඈ දෙස බලාගෙන කඳුළු පිරි දෙනෙතින් හූල්ලා වැටේ.
ඇගේ පුංචි අම්මා ඇයට ආහාරපානාදියෙන් සංග්‍රහ කරයි. ඒත් ඡායාරූපයෙන් විතරක් දකින් අම්මා ගැන සිතා හංසි බොහෝ විට කුමක්දෝ කල්පනාවක නිමග්නව සිටී.
ආරියසේන කාගේ හෝ උපකාරයක් ඇතිව ඉහළ පහසුකම් යටතේ හංසීට උසස් පාසලක අධ්‍යාපනය දීමට මැවූ සිහිනය බො ඳවිය. ආරිසේනට තාම පදිංචි නිවස පවා හරිහැටි පිලිවෙලක්කරගැනීමට හැකිවී නැත.
‘‘මං කොහොම හරි සාමාන්‍ය පෙළ පාස් වෙනවා. ඉගෙනීම හැර ජීවිතය ජයගන්න වෙන ක්‍රමයක් නෑ. ‘‘යි ඇය කියයි.
‘‘ අපි හිතුවා යුද්ධය ඉවරවුණාම අපිට හුඟක් දේ ලැබෙයි. අපිගැන අපේ දරුවෝ ගැන අවධානය යොමුවෙයි කියලා. එහෙම වුණේ නෑ. දරුවාට කොහින් හරි ශිෂ්‍යත්වයක් වත් ලැබෙනවා නම් මට මහා උපකාරයක්.එහෙම හිතාගෙන ඉඳලා සාමාන්‍ය පෙළටත් ආවා. මේ දරුවා උසස්පෙළත් කරවා මට විශ්වාසයි. දැන් නම් අධ්‍යාපනයට කාගේ හරි උදව්ව අවශ්‍යයි. ‘‘ ආරියසේන කීවේ එසේ ය.
මේ 15 වැනිදා යකාවැව ගමම හඬන දවස ය. හංසිගේ ඒ මතකය හා වේදනාව අපේ රටට දැන් අමතකවි ඇති නම් මේ සටහනින් ඒ මතකය අලුත්විය යුතුව තිබේ. එකවර මිය ගිය අහිංසකයින් හැට අට දෙනෙකුගේ එක් එක් අනුවේදනීය සිද්ධින්ගෙන් යකාවැවෙන් නැංවෙන්නේ යශෝරාවයකි. බස් බෝම්බයෙන් ඔවුනට අහිමි වූයේ ජීවිත පමණක් නොවේ.සාමූහිකත්වය, ජීවන රටාව,
අනාගත ඉලක්ක, හැදියාව, සංස්කෘතිය හා මිලකළ නොහැකි වටනාකම් රැසක් අහිමිව ගියේ ය. වසර පහළවක් ගතවූ වෙනසතුළ එදා ළමා ළපටීන් අද තාරුණ්‍යට පා තබා විරැකියාවෙන් සිටී. සුදුසු රැකියාවක් කරා ඔවුන්ට ඉලක්කයක් නැත්තේ දිගු කලක් සරණාගත කඳවුරුගතව සිටි නිසා අධ්‍යාපන ඉලක්කයන් නොසපිරීම හේතුවෙනි. ඒ පාඩුව මකන්නට කාටත් බැරිය.
අතමිට මුදල් ඇතත් තනිකමින් අසරණ වූ කාන්තාවෝ දිනකට කිහිපවරක් රහසේ කඳුළු පියදාති. මානසික පීඩනයෙන් රෝගාතුර වූවන් දෙස මනෝවිද්‍යාත්මකව බලන්නට කෙනෙක් නැත. ගම විසිරී ඇත. ආධාර බෙදීමම විසඳුම යැයි සිතීම එහි වරද ය. භෞතික වශයෙන් පමණක් යම් යම් වෙනස්වීම් ගම තුළ ධනාත්මකව ඇත.
යකාවැව බස් බෝම්බය එදා කොටි සටනේ තීරණාත්මක හැරවුම් ලක්ෂය විය.
ඒ ජීවිත පිදුවෝ කළ අපරාධයනක් හෝ ලැබූ දෙයක් නැත. රජයට කරදර ද නොකර මායිම් ගම්වල සිට මෙපිට අයට ආරක්ෂක වැටක් බැන්දෝ වූහ. ඔවුන් ජීවිත දන්දුන් පසු ද ඉතිරි පිරිස ඒ රාජකාරිය ඉටුකළහ. ඒ අතර බොහෝ දෙනා අදත් අපේක්ෂා භංගත්වයෙන් සිටිති. පවතින තත්ත්වය තුළ මියගියවුන් වෙනුවෙන් 15වන වරට පුණ්‍යකර්මයක් සූදානම් කිරීමේ අපහසුවකට තමන් ලක්ව සිටින බව එම ගමේ සිටින සමාජ ක්‍රියාකාරිණියක වන එම්. මල්ලිකාවතී මහත්මිය පැවැසුවා ය.

සරත් මනුල වික්‍රම

Share with your friends :