කාබනික කෘෂිකර්මතයටත් එහා ගිය පාරිසරික කෘෂිකර්මාන්තයකට නැඹුරුවීමෙන් බොහෝ ගැටළු විසඳිය හැකියි
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, මහාචාර්ය, සංජීවනී ගිනිගද්දර
කාබනික පොහොර යෙදීම රසායනික පොරොර තරම් ක්ෂණික ප්‍රතිඵල ලබානුදුන්නත් දීර්ඝකාලිනව භෝගය, පස හා සමස්ත පරිසර පද්ධතියේම අඛණ්ඩ ගුණාත්මක ක්‍රියාවලියකට ලක්කරන බැවින් රජය කාබනික පොහොර සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව නොනවත්වා විධිමත්ව ඉදිරියට ගෙනයායුතු බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, මහාචාර්ය, සංජීවනී ගිනිගද්දර මහත්මිය පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහසයි මේ.
‘‘අනාධිමත් කාලයක සිට කෘෂිකර්මය ජීවනෝපාය කරගත් වැසියන් විසූ රටක, සාමකාමී ජීවනෝපායක් පැවති රටක, බෙදා හදා සහ හදා බෙදා ගත් රටක, වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර සැපයීම පෙරදැරි කරගෙන නිපදවූ විවිධ බෝග ප්‍රභේද සමගින් අප අතරට ආ නව කෘෂි තාක්ෂණය හරහා සිදූවූ කෘෂි පරිවර්තනයට වසර 60ක් පමණ ගතවූ කළ, එය බහුතර මානව සම්පතෙහි යහ පැවැත්ම වෙනුවෙන් වෙනස්කල යුතුය යන්න පෙරදැරි කරගෙන ඉදිරියට ආ රසායනික පොහොර තහනම හා කාබනික කෘෂිකර්මය සඳහා ගත් දිශානතිය නිසා මුළු කෘෂි සමාජයම, ගොවියන්, කෘෂි විද්වතුන්, වෛද්‍යවරුන්, හා තවත් කෘෂි නොවන විද්වතුන්, විවිධ දේශපාලනික මත දරන්නන් අතර සිදුවන විවිධ මත ගැටුම් හා වාද විවාද බහුල මෙවන් කාල වකවානුවක, මේ සම්බන්ධව මගේ අදහස් ඇතුලත් මේ ලිපිය ලියන්නට අදහස් කලෙමි.
අද වන විට කෘෂිකර්මය නම් මහා විෂය ඉතා කුඩා කොටස්වලට කඩා ඒ ඒ කුඩා විෂය කොටස් ඔස්සේ පුහුණු වී, විවිධ පර්යේෂණ කරමින්, සමස්ථ කෘෂිකර්ම පද්ධතියේ හටගෙන ඇති විවිධ ගැටලුකාරී තත්ත්ව සඳහා පිළිතුරු සෙවීම සඳහා යොමුවී ඇති විද්‍යාඥන්යින් විශාල සංඛ්‍යාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ ඒ සඳහා විවිධ පර්යේෂණායතනද සැලකිය යුතු ප්‍රමාණයක් පවතී. මේ එක් එක් පර්යේෂණායතන වල විවිධ වූ පර්යේෂණ විවිධ වූ මට්ටමින් සිදුවෙමින් පවතින මුත් කෘෂිකර්මයේ පවතින ගැටළු අතර ප්‍රධාන වන අස්වනු අඩුවීම, කෘෂි භුමි හායනය , කෘෂි වෙළෙදපල ආශ්‍රිත ගැටළු, හා ඒවා මුල්කොටගෙන ගොවියා ගොවිතැනින් බැහැර වීම ආදිය සඳහා සොයාගත් හෝ ලබා දී ඇති පිළිතුරු ප්‍රයෝගික හෝ ප්‍රමාණවත් නොවේ.
කෘෂිකර්මය ඉතා පුළුල් විෂයකි. එහෙයින් ඒ තුල පවත්නා ගැටළු වලට පිළිතුරු සෙවීම විශ්ලේෂණාත්මකව සිදු කිරීම අපහසු කටයුත්තකි. මුළු කෘෂි භූමියම එකම පද්ධතියක් ලෙස සංශ්ලේෂණාත්මකව දකිමින් (Agricultural Systems Approach) ඒ සඳහා පර්යේෂණ සිදු කරමින් ඉහත සඳහන් කළ බොහොමයක් ගැටළු සඳහා ප්‍රයෝගික පිළිතුරු සෙවීම පහසු බව මාගේ හැගීමයි. අතීතයේ පැවති කෘෂිකර්මය සැබවින්ම තිරසාර විය. එයට ප්‍රධානම හේතුව එය පරිසරයට ආදරය කරමින්, පරිසරය, සතා සිව්පාවා , ඇළදොළ , දිය කඩිති, අනෙකුත් ගහවැල රැක ගනිමින් සිදුකළ එකක් නිසාවෙනි. කෘෂි බිමෙහි පස මුළු පද්ධතියේම පැවැත්මේ රහස බව අපේ පුරාණ ගොවියන් දැන සිටියහ. ගොවිබිමෙහි පස අනවශ්‍ය ලෙස සැකසීමෙන් හා බුරුල් කිරීමෙන් වැළකුණු ඔවුහු අවශ්‍ය පාංශු සංරක්ෂණ ක්‍රම සැමවිටම අනුගමනය කළහ. කෘෂි බිමෙන් උකහා ගන්නා සාරය (බෝග අස්වනු හෝ සත්ත්ව ආහාර ලෙස) නැවත එම භූමියටම ලබාදීමට ඔවුහු සැලකිලිමත් වුහ. වගා බිමෙන් මානවයාට සිදුකල සේවයට සැමවිටම සාධාරණයක් වගා බිමට සිදු කළහ. කෘෂි බිම එකම පද්ධතියක් ලෙස දැක ඒ පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම තුලින් ආහාර බෝග වලින් හොඳ අස්වැන්නක් ලබාගත හැකි බව දැන සිටියහ.
ගොවිබිමට අවශ්‍ය පෝෂණය බාහිරින් දීම වෙනුවට ඒ ආශ්‍රිත පරිසරයෙන් ඌන පුරණය කර ගැනීමට සැලැස්වීම තුළින් කෘෂි පද්ධතියේ සමතුලිත බව හා තිරසාර බව පවත්වා ගෙන ගියහ. කුඹුරක් ගත්කල නියරෙහි හෝ වැටෙහි පවත්නා මී ගස කුඹුරට අවශ්‍ය පෝෂණය ලබාදෙන බැවින් එය රැක ගත්හ. සෑම බිම් අඟලක්ම වවනු වෙනුවට කෘෂි පද්ධතිය තුළ ජෛව විවධත්වය පවත්වා ගෙන යෑම තුළින් කෘෂි බිමෙහි හටගන්නා විවධ ගැටළු කාරී තත්ත්ව (උදා: කෘමිහානි, ශාක ලෙඩ රෝග) සඳහා පිළිතුරු පද්ධතිය තුලින්ම සොයා ගැනීමට ඉඩ හැරියහ.
හරිත විප්ලවයෙන් ශ්‍රී ලංකාවට පසුව හඳුන්වා දුන් කෘෂි පැකේජයහි (වැඩි දියුණු කල බීජ, රසායනික පොහොර, කෘමි නාශක, වල්නාශක, හා එක බෝග වගාව) අඩංගු රසායනික පොහොර තහනම් කර කාබනික කෘෂිකර්මයට අවතීර්ණ වීම සඳහා පිඹුරුපත් සකසන මේ අවස්ථාවේදී, කාබනික කෘෂිකර්මතයට එහා ගිය පාරිසරික කෘෂිකර්මාන්තයට නැඹුරු වීමෙන් ඇති වේයැයි සිතන බොහොමයක් ගැටළු වලට පිළිතුරු ළඟා කරගත හැකිය යන්න මගේ විශ්වාසයයි.
රසායකික පොහොර නවතන විට බෝගයට අවශ්‍ය පෝෂණය ලබාදීම සඳහා කාබනික පොහොරද මහා පරිමාණයෙන් පසට යෙදිය යුතුය යන්න විශ්වාස කරමින්, නිවර්තන කලාපීය පසෙන් ඉක්මනින් ඉවත්වන නයිට්‍රජන් පෝෂකය පමණක් ඉලක්ක කර කාබනික පොහොර ඉතා විශාල ප්‍රමාණයෙන් ගණනය කර ඒවා ඊළඟ කන්නය සඳහා සපයා ගැනීමට අපහසු බව ප්‍රකාශ කරමින් මෙම ක්‍රමයේ අපහසුතාව උලුප්පා දැක්වීමට බොහෝ විද්වතුන් උත්සාහ දරයි. උදාහරණයක් ලෙස යුරියා (46% නයිට්‍රජන්) කිලෝග්‍රෑම් එකක් පසට දමන විට එයින් ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය ලබා දීමට කොම්පෝස්ට් (1.5% නයිට්‍රජන්) කිලෝග්‍රෑම් 30ක් පසට දැමිය යුතු බව (1: 30) අවධාරණය කරයි. යූරියා පසට දැමුවිට එහි නයිට්‍රජන් භාවිත කාර්යක්ෂමතාවය 30% ක් වේ. එවිට මෙසේ පසට දමන යුරියා කිලෝ 1 න් බෝගය මගින් සත්‍යය වශයෙන්ම උරාගනු ලබන්නේ නයිට්‍රජන් 152 g කි. එය ලබා දීමට සත්‍ය වශයෙන්ම පසට කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 10 ක් ලබාදීමද මෙම උදාහරණයට අනුව සෑහේ. කෙසේ වෙතත් රසායනික පොහොර හා කාබනික පොහොර පසෙහි ක්‍රියා කරන්නේ සහමුලින්ම වෙනස් ආකාර දෙකකටය. යුරියා වල අඩංගු නයිට්‍රජන් පහසුවෙන් ශාක මුල මගින් පාංශු ද්‍රාවණයෙන් උරා ගන්නා අතර කාබනික පොහොර පසෙහි ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරිත්වය උත්තේජනය කර දිලීරක මුල ක්‍රියාකාරිත්වය හරහා ශාකයට නයිට්‍රජන් ලබා දෙන්නේ සෙමෙන් වුවත් අඛණ්ඩවය. වායු ගෝලයේ වැඩියෙන්ම පවතින නයිට්‍රජන් විවිධ ක්‍රියාවලි හරහා බෝගයේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරන බවද අමතක නොකළ යුතු වේ. යුරියා කි 1 ක් දැමුවිට ශාකයට උරාගන්නා කොටස හැර අපතේ යන නයිට්‍රජන් ද, එම අපතේ යන නයිට්‍රජන් පරිසර පද්ධතියට එකතු වී සිදුකරන බොහොමයක් අයහපත් ක්‍රියා ද සලකා බැලූ විට කාබනික පොහොර එකතු කිරීමෙන් දීර්ඝ කාලීනව පසෙහි සිදුවන යහපත් ක්‍රියා හා පස නිරෝගී වීමේ ක්‍රියාවලිය මහඟු ය. බාහිරින් අප පද්ධතියට එකතු කරන කාබනික පොහොර වලට අමතරව බෝගයේ මගින් පසට එකතු කරන ජීවී කොටස් එම භූමියෙන් ඉවත් නොකර (අස්වැන්න හැර) එම භූමියේම දිරායාමට සැලැස්වීමෙන් පස නිරෝගී වීමේ ක්‍රියාවලිය දිගු කාලීනව අඛණ්ඩව සිදු වේ. මෙය මුළු පරිසර පද්ධතිය සමතුලිතව පවත්වා ගෙන යෑමට අවශ්‍ය වේ.එහෙයින් විශාල ප්‍රමාණයෙන් කාබනික පොහොර පසට දැමිය යුතුය යන්න අනවශ්‍ය බිය ගැන්වීමක් සිදුකරමින් ඊළඟ කන්නයට අවශ්‍ය කාබනික පොහොර පිටරටින් ගෙන්වීමට සමහර කමිටු යෝජනා කරයි. පිට රටින් කාබනික පොහොර ගෙන්වීම අනවශ්‍ය ප්‍රශ්නවලට අත වැනීමකි. රසායනික කෘෂිකර්මාන්තය හරහා ජාතියම අසරණ වී ඇති විටක එය කබලෙන් ලිපට වැටීමක් වනු ඇත.
කාබනික ද්‍රව්‍ය යනු තවත් පොහොරක් නොව එය සැබවින්ම පසට යොදන සකසනයක් (Conditioner) වන බවත් එම සකසනය හරහා පසේ වෙසෙන ක්‍ෂුද්‍ර ජීවින් ක්‍රියාත්මක වී කාබනික ද්‍රව්‍ය වියෝජනය කරමින් පසට අවශ්‍ය පෝෂක සැපයීම සිදු කරන බව ගොවියා මෙන්ම අනෙකුත් විද්වතුන් ද අවබෝධ කර ගැනීමෙන් මේ කටයුත්ත තවත් පහසු වනු ඇත. එහෙයින් ඉතා විශාල ප්‍රමාණ වලින් කාබනික ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය වේ යන්න නිවැරදි නොවන අතරම නයිට්‍රජන් පමණක් සලකා ඉතා විශාල ප්‍රමාණ වලින් කාබනික පොහොර යෙදූ විටදී පසෙහි අනෙකුත් පෝෂක විෂවීම අස්වනු අඩුවීමටද හේතුවන බැවිනි.
පාරිසරික කෘෂිකර්මාන්තය ඉලක්ක කොටගෙන සිදුකර ඇති පර්යේෂණ ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නොවන අවධියක නව මානයකින් බලමින් පර්යේෂණ සිදු කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමි. ඒ අතර විවිධ බෝගයන් සඳහා පිහිටුවා ඇති පර්යේෂණ ආයතන තුල හා විශ්ව විද්‍යාල තුල වුවද අනු විෂයන් සඳහා කරනු ලබන තනි පුද්ගල හෝ තනි විෂයක් ඉලක්ක කොටගත් පර්යේෂණ සංස්කෘතියෙන් ඔබ්බට ගොස් බහුවිධ පර්යේෂණ කණ්ඩායම් එකතුව සිදු කරන පර්යේෂණ තුලින් වඩා සාධනීය ප්‍රතිඵල ලබා ගත හැකිබවද සඳහන් කරමි.‘‘ යනුවෙනි.
සරත් මනුල වික්‍රම