2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය කටයුතු කර ගෙන යයි.
ඒ අනුව, හෙක්ටයාර් 500,000කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට පියවර ගැනීමට නියමිතය.
ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් එම පොහොර අවශ්‍යතාවයන් රජයට අයත් පොහොර සමාගම් හරහා ආනයනය කෙරේ.
අනතුරුව එම කාබනික පොහොර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදාහැරීමට නියමිතය.
රට තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීමට රජය විසින් මේ වනවිට පියවර ගෙන තිබේ.
මේ වනවිට මෙරට නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021/22 මහ කන්නය සඳහා හෙක්ටයාර් 224,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත් තවත් හෙක්ටයාර් 100,000කට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගත් ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී සපයා ගැනීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව සඳහන් වේ.
එබැවින් කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්ර ශාක පෝෂක ප්‍රසම්පාදනය කිරීමට අදාළ ව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ එම කමිටුවට සහාය වීමට අදාළ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කිරීමට ද තීරණය කර තිබේ.
මේ අතර රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බවත් ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මීට පෙර චෝදනා කර තිබිණි.