27 C
Colombo
19/01/2025

වරාය නගර පනත සම්මත කරගන්නට ආණ්ඩුව පාර්ලිමේන්තුවම අනතුරට දැමුවා – කිරිඇල්ල

Share with your friends :

කොවිඩ් වසංගතය රටම වෙලා ගනිමින් තිබියදී, වරාය නගර ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට තිබූ කඩි කුලප්පුව හේතුවෙන් යළිත් වරක් සමස්ත පාර්ලිමේන්තුවම අවදානමට ලක්කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත්, වසංගත තත්වය මැද පාර්ලිමේන්තුව රැස් නොකරන ලෙස විපක්ෂය කරනු ලැබූ ඉල්ලීම් කිසිවක් ආණ්ඩුව මායිම් නොකළ බවත් කිරිඇල්ල මහතා පවසයි.

අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කතානායකවරයා ආණ්ඩුවේ න්‍යායපත්‍රයට අනුව පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවයි. මීට දින 10 කට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ආසාදිතයන් හමුවෙද්දී කට වසාගෙන සිටි කතානායකවරයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෛරසය ආසාදනය වූ පසු මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂ නායකයාට වෛරසය ආසාදනය වූයේ පාර්ලිමේන්තුව හරහා නොවන බවට ප්‍රකාශ කිරීමෙන් ‘හොරට පෙර කෙසෙල් කැන වැට පැනීම’ ප්‍රස්ථා පිරුළ සිහිපත් වන බවද කිරිඇල්ල මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට දුන් වත්මන් ආණ්ඩුව තෙවැනි රැල්ලේදී වරාය නගර පනත සම්මත කර ගැනීම වෙනුවෙන් තවත් දහස් ගණනකගේ ජීවිත බිලි වනතුරු බලා සිටි බවද කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

Share with your friends :