27 C
Colombo
24/09/2024

වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ-තුනෙන් දෙක නැහැ

Share with your friends :

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි . කෙසේ වෙතත් තුනෙන් දෙකක වැඩි ඡන්දය මේ සඳහා ලැබුනේ නැත.
සමගි ජන බලවේගයේ , ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ .
මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබයේ නොසිටියහ .

පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පස්වරු 4.40ට පමණ ආරම්භ විය . මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේය .

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පනත සඳහා රජය වෙනුවෙන් නව සංශෝධන ඉදිරිපත් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධන කිහිපයක් වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 25 ක්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 7වැනිදා කතානායකවරයාට දැනුම් දුන්නේය .

එම පනතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණ.

පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට රජයට සිදුවූයේ මේ නිසාය .

පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පහළොවක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ප්‍රකාශයට පත් කළේය.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 8 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

Share with your friends :