27 C
Colombo
19/01/2025

කොරෝනා නිසා ගැබිණි මව්වරුන්ට දැඩි අවදානමක්

Share with your friends :

රට තුල කොවිඩ් තත්වයන් උත්සන්න වීමත් සමග ගැබිණි මව්වරුන්ට දැඩි අනතුරුදායක තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මේ වන විට රට තුල ගැබිණි මව්වරුන් විශාල පිරිසකට කොවිඩ් වැළඳී ඇති අතර ඒ අතරින් මව්වරු කීපදෙනෙකු මරණයට පත්ව තිබේ.

මේ නිසා සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු පවසති.

එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා ,

ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්

කාසල් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා ,

සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වෙනවා
සංචරණ සීමා පැවතියත් මව්වරුන්ට සහ දරුවන්ට ඒ සායනික දිනයේදී පැමිණීමේ හැකියාව තියෙනවා

මේ අතර කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් කුරුණෑගල රෝහලේදී මියගොස් තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේ 28 හැවිරිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබිනි කාන්තාවක් සිය දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව එලෙස මියගොස් ඇති බවය.

ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබුණි.

ඇයට එම රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇති අතර අපස්මාර රෝගී තත්වයෙන්ද පෙළී ඇති බැවින් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් සිදුකර ඇත.

එහිදී අපස්මාර රෝගී තත්ත්වය උත්සන්නවීමත් සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් මව ජීවිතක්ෂයට පත්වී ඇති අතර බිළිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබුණි.

මේ වනවිට බිළිඳා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේය.

Share with your friends :