රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින මන්ත්රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර්යයෙන්ම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එකඟ වී තිබේ.
බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර කතානායකවරයා ඊට එකඟ වී ඇත්තේ ඒ අවස්ථාවේදීය.
රිෂාඩ් බදුර්දීන් මහතා ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයා නියෝග දී තිබුණද කිසියම් හෝ හේතුවක් මත එය සිදු නොවීය.
බදුර්දීන් මහතා මැති සබයට නොකැඳවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරු එම රැස්වීම්වලදී කතානායකවරයාගෙන් ප්රශ්න කළහ.
රිෂාඩ් බදුර්දීන් මහතා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති හෙයින් ඔහු මැති සබයට නොකැඳවන්නයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා ඉල්ලීමක් කළේය.
බදුර්දීන් මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින්නේ පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහාය.