මෙරට ඉදිකෙරෙන 07වන අධිවේග මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම ඉදිකිරීම අඩුම මිලකට දේශීය සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු එලෙස ආරම්භ කෙරෙනු ඇත.
ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර 73.9ක් වන අතර පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුර ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතය.
දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර ඒ සඳහා රුපියල් බිලියන 54.7ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කුප්‍රකට සමාගම් කීපයක් මේ සඳහා අතිවිශාල මිලගණන් ඉදිරිපත් කර තිබියදී ඒ සඳහා අඩුම මිලක් ඉදිරිපත් කල සමාගමට මෙම ඉදි කිරීම හිමිවී තිබේ. ඇතැම් සමාගම් මේ මිල මෙන් දෙගුණයක් ඉදිරිපත් කර තිබු බව පැවසේ.
මෙම අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.