27 C
Colombo
18/01/2025

ගම්පහ කොරෝනා තත්වය බරපතල තත්වයක – තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවයි

Share with your friends :

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින පහක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රොගවලින් පෙළෙන්නන්ට වයිරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැත.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් තිබේ.
එය කඩිනමින් අලුත් වැඩියා කර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්ත ශාලා ගොඩනැගිලි දෙකක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබාගැනීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

මීට අමතරව ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ද වසා දමා ඇති කර්මාන්තශාලාවක ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට නියමිතය.

කොරෝනා තත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ද ප්‍රසන්න රණතුංග මහතා කියයි.

වසා දමා ඇති කර්මාන්තශාලා තුන තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාව අතර කළ ඉල්ලීමක් අනුව දුරකතනයෙන් ආයෝජන මණ්ඩල ප්‍රධානීන් අමතා ඒවා ලබාගත් බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Share with your friends :