27 C
Colombo
19/01/2025

රූ රැජින තරඟවල තරගකාරියන් ලිංගික අපයෝජනයට ලක්නොවන නීති ගෙනෙන්න-කැරොලයින් ජුරි

Share with your friends :

විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රයේ තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු යැයි හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රය අපේ රටේ බිම් මට්ටමේ පිළිගැනීම සහ විශ්වාසය දිනාගැනීමට අපොහොසත්ව ඇති බවත් ඒ සඳහා නීති ප‍්‍රතිසංස්කරණය සහ සම්පාදනය සඳහා ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් කැරොලයින් මහත්මිය පවසන්නීය.

තරාතිරම් හෝ බෙදීම්වලින් තොරව සියලූම කාන්තාවන් සඳහා සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රය වාණිජ කර්මාන්තයක් බවත් ඇය පවසන්නීය.

සියලූම තරගකාරියන් සහ තරගකරුවන් නීතිවේදීන් සමාලෝචනය කරනු ලබන අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතු බව පවසන කැරොලයින් ජූරි කිසිම තරගකාරියක් හෝ තරගකරුවෙක් ලිංගික අපයෝජනයට ලක්නොවිය යුතු බව ද කියන්නීය.

ශ්‍රී ලංකාවේදී පසුගියදා පැවැති විවාහක රූ රැජිණ තරගය ජයගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ එම උත්සව අවස්ථාවේදීම ගැලවීමේ සිද්ධියෙන් පසුව කැරොලයින් ජූරි මහත්මිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහැර දැමුවාය.

ඉන් පසුව කැරොලයින් ජුරි ප්‍රකාශ කලේ තමා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජින කිරුළ යනු, විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් වගකීම් දරමින්ම, තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුම බවත්, සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා, එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කීරීමට උත්සහ ගන්නා, අසීමිත කැපකිරීම් කරන, වෙහෙස වන, හැකියාවක් ඇති, හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුම බවයි.
මේ වන විට රූ රැජින තරග වලදී ඊට සහභාගිවන තරුණියන් හා කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් වන බවට බරපතල චෝදනා එල්ලවෙමින් තිබේ. එසේම රූපවාහිනී නාලිකා වල රියලිටි ෂෝ වැඩසටහන් සඳහා සහභාගිවන තරුණියන් අපයෝජනයට ලක්වන බවටද චෝදනා බොහෝය. මේ තරග සඳහා රටේ පවතින කිසිදු නීතිරීති වලංගු නොවීම හා ඒවා තනිකරම සංවිධායකවරුන්ගේ අභිමතය පරිදි පැවැත්වීම නිසා මෙවැනි ක්‍රියා පාලනය කිරීම අතිශය අසීරු කාරනයක්වී තිබේ.

Share with your friends :