27 C
Colombo
22/12/2024

SLIM ඉතිහාසයේ ප්‍රථම සභාපතිනිය බවට තිලංකා අබේවර්ධන පත්වෙයි

Share with your friends :

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති ධූරයට තිලංකා අබේවර්ධන මහත්මිය පත්ව තිබේ. 2021/2022 වසර වෙනුවෙන් SLIM ආයතනයට නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී. SLIM 51 වසරක අභිමානවත් ගමන් මග තුළ 43 වැනි සභාපතිවරයා ලෙස පත් වූ තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසය තුළ නව සංධිස්ථානයක් සනිටුහන් කොට ඇත.ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2021 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ

මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා හි දකුණු ආසියානු නව වෙළෙඳපොළ පිළිබඳ ප‍්‍රධාන අලෙවි නිලධාරී ලෙස කටයුතු කරන තිලංකා අබේවර්ධන මහත්මිය බංගලාදේශය, භූතානය, බෲනායි, කාම්බෝජය, ලා ඕස්, මාලදිවයින, මියන්මාරය, නේපාලය හා ශ්‍රී ලංකාව යන ආසියානු කලාපයේ රටවල් 9 ක මයික්‍රොසොෆ්ට් අලෙවි හා සන්නිවේදන කටයුතු පිළිබඳ ප‍්‍රධානියාද වේ. එටිසලාට් ශ්‍රී ලංකා සමාගමේ හිටපු අලෙවි ප‍්‍රධානියා වූ ඇය EWIS ආයතනයේ හිටපු ආයතනික සන්නාම කළමනාකාරිණිය ලෙසද සේවය කළාය. ශ්‍රී ලාංකීය අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන අබේවර්ධන මහත්මිය සතු විශිෂ්ඨ කුසලතා Effie, PR Awards Asia, Brand Excellence සහ Manthan Awards යනාදී දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයීමට ලක්ව ඇත. Women in Management සහ ලෝක බැංකු සමූහයේ International Finance Corporation එක්ව 2016 වසරේදී 6 වැනි වරටත් සංවිධානය කරන ලද Professional & Career Women Awards for Leadership Excellence in Marketing ජාත්‍යන්තර අලෙවිකරණ වෘත්තීයවේදී කාන්තා සම්මාන උළෙලේදීද තිලංකා අබේවර්ධන මහත්මියගේ අලෙවිකරණ හා කළමනාකරණ වෘත්තීයවේදීත්වය විශේෂ ඇගයීමකට ලක්වීම විශේෂත්වයකි. දශකයකට අධික කාලයක් තිස්සේ SLIM සමග රැඳී සිටින අබේවර්ධන මහත්මිය SLIM වෙනුවෙන් විවිධ තනතුරු රැසක් හොබවා ව්‍යාපෘති ගණනාවකට නායකත්වයද ලබාදී ඇත.

මහා බි‍්‍රතාන්‍යයේ වේල්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක වන නව SLIM සභාපතිනි තිලංකා අබේවර්ධන මහත්මිය, Sri Lanka Institute of Information Technology වෙතින් විද්‍යාවේදී (විශේෂවේදී) උපාධිය හදාරා ඇති අතර Chartered Institute of Marketing (CIM) වෙතින් post-graduate Diploma in Marketing සුදුසුකමද ලබා ඇත. තවද ඇය විසින් ඇමරිකාවේ Kellogg School of Management විසින් පවත්වන ලද නූතන අලෙවිකරණ සංකල්ප හා විශේෂ අලෙවිකරණ තාක්ෂණ විධික‍්‍රම පිළිබඳ විධායක අධ්‍යාපන පාඨමාලාවක්ද හදාරා තිබේ. තිලංකා අබේවර්ධන මහත්මිය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක්ද වේ.

Share with your friends :