27 C
Colombo
27/01/2025

ශ්‍රීලංකන් ගුවන් සේවයේ නාලක ද සොයිසාගේ වැඩ නිසා මිලියන ගණනක පාඩුවක්-ගුවන් නියමුවෙකුට කොරෝනා

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහල කළමනාකාරීත්වයේ නොසැලකිල්ල හේතුවෙන් එම ගුවන් සේවයට රුපියල් මිලියන ගණනාවක පාඩුවක් සිදුව තිබේ.
ඒ නිරෝධායනය නිසි ලෙස අවසන් නොකළ සිටි ගුවන් නියමුවෙකු PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන්නට පෙර සේවයේ යෙදවීම නිසා මාලදිවයිනට ගිය ගුවන් යානයක් නැවත ශ්‍රීලංකාවට ගෙන ඒමට තවත් ගුවන් යානයක් හා කාර්ය මණ්ඩල දෙකක් යවන්නට සිදුවීම නිසාය.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා මුර කළමනාකාර ( Roster Manager) නාලක ද සොයිසා ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් මෙය සිදුව තිබේ.
නිරෝධායනය අවසන් නොකළ ගුවන් නියමුවකු යොදවා UL 101 දරන එයාර් බස් 330 ගුවන් යානයක් මොහු විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මාලදිවයින බලා යවා තිබේ. එහිදී අදාල ගුවන් යානය පිටත්වූ පසුව එම ගුවන් නියමුවාගේ PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබී ඇත.
එහිදී අදාළ ශ්‍රීලංකන් ගුවන් යානයේ ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග ශ්‍රීලංකන් බලධාරීන් දැඩි අසීරුවට පත්ව තිබේ.
ඒ අනුව අදාළ ගුවන් නියමුවාට එම යානය නැවත ශ්‍රීලංකාවට රැගෙන ඒමට නොහැකි නිසා තවත් ගුවන් යානයක් කාරය මණ්ඩල දෙකක් සමග මාලදිවයිනට යවන්නට සිදුව තිබේ. එතෙක් ගුවන් යානය ප්‍රමාද වීම නිසා මාලදිවයිනේ සිටි මගීන්ට විවිධ සේවා සපයන්නට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව තිබේ.
පසුව එහි ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් 320 යානයේ පිය ගැට පෙළ සවිකරන්නට පැමිණි වාහනයක් ගුවන් යානයේ ගැටී ඇති අතර ඒ හේතුවෙන් එම එයාර් බස් 320 යානයට අලාභ හානි සිදුව ඇත. පසුව එම යානය එහි දමා කලින් තිබු යානය රැගෙන නව කාර්ය මණ්ඩලය සමග එම එයාර් බස් 330 යානය මගීන් සමග යලි ශ්‍රීලංකාවට පැමිණ තිබේ.
අදාල අලාභ හානි වූ යානය අලුත්වැඩියා කිරීම සඳහා තවත් ශ්‍රීලංකන් ගුවන් යානයක් එහි යවන්නට ගුවන් සේවයට සිදුව තිබේ. මේ සියලු අලාභ ගුවන් සේවයට සිදුව ඇත්තේ නාලක ද සොයිසා ගේ අත්තනෝමතික තීරණ හේතුවෙනි. මීට පෙරද අවස්ථා ගණනාවකදී මොහු විසින් නිරෝධයනයේ සිටි නියමුවන් යොදවා ගුවන් ගමන් සිදු කරවා ඇත්තේ අදාල ගුවන් නියමුවන් එකට නිරෝධායනය වන එකම කණ්ඩායමක් ලෙස පවසමිනි.
එහෙත් ඒ සෑම අවස්ථාවකදීම සෙසු ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අය එම කණ්ඩායමට අයත් නොවන සාමාන්‍ය සේවකයන් නිසා ඔවුන් සියල්ල කොරෝනා අවදානමකට මොහු විසින් ලක් කර තිබේ.
එපමණක් නොව මේ නියමුවන් ශ්‍රීලංකා රේගුව හා ආගමන විගමන නිලධාරීන් වෙතද නිරාවරණය වන අතර එම නිසා එම සියලුම දෙනා දැඩි අවදානමකට ලක් කර තිබේ. මේ තත්වය මත තම රාජකාරී වගකීම ඉටු නොකිරීම , ගුවන් මගීන්ගේ හා සෙසු සේවක යන්ගේ ජීවිත අවදානමකට ලක් කිරීම , ශ්‍රීලංකා රේගු සහ ආගමන විගමන නිලධාරීන්ගේ ජීවිත අවදානමකට ලක් කිරීම , ශ්‍රීලන්කන් ගුවන් සේවයට මිලියන ගණනාවක පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ලවී ඇති නාලක ද සොයිසා සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයෝ සහ වෘත්තීය සමිති ඉහල කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිටිති.

Share with your friends :