27 C
Colombo
23/09/2024

වරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා-හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානකයි-විජයදාස රාජපක්ෂ

Share with your friends :

කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය. විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙ‍සේ ද කීවේය.

” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝද අදහස් දක්වමින් මෙසේ කීය.

“නාගරික සංවර්ධන අධිකාරී පනත, කොළඹ මහ නගරසභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, ක්‍රම උපාය සංවර්ධන ව්‍යාපෘති පනත, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, දේශීය ආදායම් පනත ඇතුළු රටට බදු අයකරන පනත් 14කින් එය මුදාහැරලා තිබෙනවා. එහෙනම් අපට පැහැදිලියි මෙය චීන කොළනියක් බවට තමයි පත්වේගෙන එන්නේ.

අපි මොන හේතුවක් නිසාවත් මේ රටේ ජනතාව රට හදන්න පාලකයො ගත්තා මිසක් රට විකුණන්න රට බදු දෙන්න රටට අහිතකර ප්‍රතිපත්ති හදන්න මේ රටේ පාලකයින්ට අපි බලය අරන් දීලා නෑ. අපි බලය අරන් දුන්නෙ රට හදන්න නම් පාලකයොන්ට තියෙනවා මෙය හොර රහසේ ගිවිසුම් ගහන්නෙ නැතුව අපිත් එක්ක සාකච්ඡා කරලා මේවා ඉදිරියට ගෙනයන්නට. අපි අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. අපි දැම්මෙ 15 වෙනි නඩුව.
මේ රටේ සිතියම පවා වෙනස් වෙනවා. බස්නාහිර පළාතෙ සිතියමටත් මේක අයිති වෙන්නෙ නෑ. මේ නිසා අර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නෙ එළියේ කියන සම්ප්‍රදාය උඩ තමයි ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා ඇත්තේ. ගෝඨාභය ජනාධිපතිතුමනි, ඔබට අපි දුන්නෙ හොඳ රටක්. ඔබේ සෞභාග්‍යමත් සැලැස්ම ක්‍රියාත්මක කරන්න රටේ සම්පත් ආරක්ෂා කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කවුරු හරි උපදෙස් දෙන කේවට්ටයො ඉන්නවා නම් ඔවුන්ගෙනුත් පරෙස්සම් වෙලා අපේ රට රැකලා දෙන්න කියන එකයි අපෙ එකම ඉල්ලීම”

Share with your friends :