27 C
Colombo
23/10/2024

මියන්මාර වැසියන් ආරක්ෂාව පතා ඉන්දියාවට පැන යති

Share with your friends :

මියන්මාරයේ හමුදා පාලකයන් විසින් දිගින් දිගටම සිවිල් වැසියන් වෙත එල්ල කරන ප්‍රහාර හමුවේ විශාල සිවිල් වැසියන් පිරිසක් රැකවරණ පතා ඉන්දියාවට පලා ගොස් තිබේ.
මේ බොහෝ මියන්මාර ජනතාව සිය පවුල් පිටින් ඉන්දියාවේ මනිපුර් වෙත මේ වන විට පැමිණෙමින් සිටිති. මුලදී ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මියන්මාර වැසියන් ඉන්දියාවට ඇතුළුවීම
වැලක්වුවද මේ වන විට ඉන්දියානු ආරක්ෂක අංශ විසින් ඊට ඉඩදී තිබේ. මේ වන විට දෙරට අතර මාර්ග හා දේශ සීමා වසා දමා ඇති නිසා බොහෝ විට සරණාගතයන් පැමිණෙන්නේ කැලෑ හරහාය.
සරණාගතයන් ලෙස ඉන්දියාවට පැමිණෙන මියන්මාර ජාතිකයන් පවසන්නේ මේ වන විට හමුදා පාලකයන් විසින් මියන්මාර වැසියන් 680 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවය.
ඝාතනයට ලක්වුවන් අතර කුඩා දරුවන් 43 දෙනෙක් වෙති. නිවාස වලට කඩාවදින මියන්මාර හමුදාව තරුණියන් හා කාන්තාවන් දුෂණයට ලක් කරන බවටද චෝදනා එල්ලවී තිබේ.
මහාමාර්ග වල සිටින නිරායුධ ජනතාව පමණක් නොව නිවෙස් තුල සිටින ජනතාවද හමුදාව විසින් ඝාතනය කරන බව සඳහන්ය. මේ නිසා ඇතැම් ප්‍රාදේශ වල ජනතාව කැලෑ වැදී ජීවත්වන බවද පැවසේ.
වසර ගනනාවක් තිස්සේ ඉන්දියාව හා මියන්මාරය අතර දේශසීමා විවෘතව තිබු අතර දෙරටේ ජනතාවට දෙරටේ දේශසීමා වල සිට සැතපුම් 10 ක් ඈතට ගමන් කරන්නටත් දින 14 ක කාලයක් රැඳී සිටින්නටත් හැකි විය. කෙසේ වෙතත් කොරෝනා පැතිර යාමත් සමග 2020 මාර්තු මාසයේ සිට දෙරට අතර දේශ සීමා වසා දමන ලදී. එය යලි විවෘත කරන්නට නියමිතව තිබියදී 2021 පෙබරවාරියේ බුරුම හමුදා කුමන්ත්‍රණය සිදු විය.

Share with your friends :