27 C
Colombo
22/10/2024

පළාත් සභා මැතිවරණයට තනිව එන්නට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡා

Share with your friends :

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට සැලසුම් කර එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර තිබේ.ඒ අනුව පක්‍ෂය ශක්තිමත් කිරීම සඳහා දැනටමත් ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ඔහු පැවසීය.
මේ වන විට නගර සභා සහ පළාත් පාලන ආයතන වල සභිකයන් 1064 දෙනෙකු ශ්‍රීලංකා නිදහස් පක්ෂය සතුව තිබේ. පළාත් සභා සඳහා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගතවීම තුල ශ්‍රීලංකා නිදහස් පක්ෂය තවදුරටත් සුළු පක්ෂයක් බවට පත්වන බව එහි නායකයන් අතර සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇමතිකම් දරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරු මේ සම්බන්ධයෙන් කවර තීරණයක් ගනීදැයි තවමත් පැහැදිලි නැත.
මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් මෙම නව සන්ධානය සඳහා දැනට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක් එක් වනු ඇති බවත් සඳහන්ය.
මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිල නොවන අයුරින් සාකච්ඡා පැවැත්වෙන බව සති අන්ත පුවත් පතක් සමගද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රබලයෙකු සඳහන් කර තිබේ.
වර්තමාන ආණ්ඩුව බිහි කිරීමේදී ආණ්ඩුව සමග ඇතිකරගත් එකගතා මූලික කරගනිමින් මෙම නව සන්ධානය ගැනද සාකච්ඡා පවත්වන බව ද ඔහු සඳහන් කර ඇත.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ නායක හමුවෙන් පසුව බවද ඔහු පවසා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනම මැයි දිනය සැමරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩු පක්ෂය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ. මැයි දිනය එක්ව සමරන්න ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 19 වැනි දා පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයින් පසුගියදා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමේ දී ද මේ ගැන වශයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද තනිව මැයි රැලියක් සංවිධානය කිරීමට අවශ්‍ය වුවහොත් එහි සංවිධාන කටයුතු දුමින්ද දිසානායක ඇමතිවරයා යටතට පත් කර ඇත.

Share with your friends :