27 C
Colombo
19/01/2025

විවාහක රූ රැජිණ ගැටුම දිගටම – දෙපාර්ශවයම අත් නොහරිති – ජාත්‍යන්තර මාධ්‍යවලත් වාර්තා

Share with your friends :

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා මනමේන්ද්‍ර සමඟ සාකච්ඡා කර සමථයකට පත්වීමට උත්සාහ කළත් එය අසාර්ථකවීම නිසා නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව විවාහක රූ රැජිණ වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසූවාය.

ඔවුන් දෙදෙනා සමඟ සමාදානවීමට පැය හතරක පමණ කාලයක් උත්සාහ කළත් තමාට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ඔවුන් අකමැතිවීම නිසා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කීවාය.

“අපි පැය 4ක් පමණ උත්සාහ කළේ දෙපාර්හවය අතර සමතයකට එන්නයි. මට මේ දේ වැඩිදුර ගෙනියන්න ඕනෙ වුණේ නැහැ. මම වගේම ඔවුනුත් දරුවන් ඉන්න අම්මලා නිසා මට අවශ්‍ය වුණේ මේ ප්‍රශ්නය නවත්වන්නයි. මා අපකීර්තියට පත්කිරීම ගැන මාධ්‍ය සාකච්ඡාවකින් හෝ මගේ නම කියා සමාව ඉල්ලන්නැයි මම ඔවුන්ට කීවා. ඔවුන් එයට කැමති වුණේ නැහැ.මෙයින් මහ අසාධාරණයක් වෙන නිසා නීතිමය පියවර ගැනීමට මමත් මගේ නීතීඥවරියත් තීරණය කළා.
ඔවුන් මාව වේදිකාවක් උඩ අපහසුතාවයට පත්කළේ ලෝකයක් බලා සිටියදීයිත එයින් මා ‍මානසිකව වැටුණා. ඒ වුණත් මට ඔවුන් දෙදෙනා අපහසුතාවයට පත්කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් ඔවුන් එයට අකමැති වුණ නිසා මට කරන්න දෙයක් නැහැ. ඒ ඔවුන්ගේ කර්මය වෙන්න ඇති. මම සැමවිටම හිතන්නේ ඔවුන් ගින්දර නම් මම වතුර කියලයි. හැමෝම කැමති වතුරට මිස ගින්දරට නෙවෙයි. මම ඔවුන්ට හැමදාම සමාව දෙනවා. මට සමාව දෙන්න පුළු්වන්ත නමුත් අමතක කරන්න බැහැ.
ලෝක රූ රැජිණ සංවිධායකයින් විසින් ගතයුතු තීන්දුවක් තිබෙනවා නම් ගනීවි”

පුෂ්පිකා ද සිල්වා මහත්මිය රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ල විභාග කිරීමට ඇය සහ සහ කැරොලයින් ජූරි, චූලා පත්මේන්ද්‍ර මහත්මීන් කුරුඳුවත්ත පොලීසියට අද කැඳවා තිබූ අතර පොලිස් ස්ථානයෙන් ආපසු පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.
මෙහිදී ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැළකී සිටියාය.

මේ අතර ආකල්පමය ප්‍රශ්නයක් නිසා පසුගිය දා පැවැති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ ඇති වූ ගැටලුව විසඳාගැනීම අපහසු වී ඇතැයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළේ ඔහු ය.

එහිදී සිදුවූ දේ පිළිබඳව චන්දිමාල් ජයසිංහ මෙසේ මාධ්‍යට අදහස් දැක්වීය.

“කැරොලයින් ජූරි, චුලා පද්මේන්ද්‍ර, පුෂ්පිකා ද සිල්වා ඇතුළු සියලුම දෙනා අද පොලීසියට ආවා. පුෂ්පිකාගේ ඉල්ලීම වුණේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගෙන් සමාව ගතයුතු බව. එයට පමණක් කැරොලයින් ජූරි එකඟ වුණේ නෑ. ඇය කිව්වේ ඇය පෞද්ගලික ලිපියක් හරහා නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගන්නම් කියලා. පුෂ්පිකාගේ නම සඳහන් නොකර සමාව ගන්නම් කියලා. පුෂ්පිකා ඒකට කැමති වුණේ නෑ. පිරිසක් ඉදිරියේ ඇය අපහසුතාවයට පත්වූ නිසා නඩු කටයුත්තක් සඳහා යොමු වුණා. මේ මාසයේ 19 වනදා නඩුව පැවැත්වෙනවා. බොහොම කණගාටුදායක තත්ත්වයක්. පොලීසිය විශාල වෙහෙසක් ගත්තා මේක සමතයකට පත්කරන්න. සමහරුන්ගේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් නිසා කණගාටුදායක තත්ත්වයකට පත්වුණා. තමන් වැරැද්දක් කළා කියලා නිහතමානීව මාධ්‍ය ඉස්සරහට ගිහින් පිළිගන්න ඕන. මම නිර්මාණය කරපු කෙනෙකුට මේ තත්ත්වය උදා වෙනවට මම කැමතිත් නෑ. රෝසි සේනානායක මහත්මියත් ඇයට දුරකථනයෙන් පැයක් විතර කතා කරලා මේක විසඳගන්න උපදෙස් දීලා තිබුණා.”

මේ අතර නිරූපන කර්මාන්තයේ පිරිස් මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙකට බෙදී සිටිති. මේ අතර දෙපාර්ශවයේම හිතවතුවන් වන ප්‍රබලයන් පිරිසක්ද සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සිදුවන බලපෑම් නිසා මේ සිද්ධිය වැඩිදුර නොගොස් බේරා ගැනීමට තිබු අවස්ථාවන්ද නැතිවී ගොස් තිබේ. එසේම මේ සිද්ධිය මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලද ප්‍රධාන ප්‍රවෘත්තියක් වී ඇති අතර රටට ඒ තුලින් සිදුවන්නේ විශාල අපකීර්තියකි. එසේම මේ වන විට මීට සම්බන්ධ පාර්ශවවල අතීතය හාරා අවුස්සමින් මේ දිනවල ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් තිබේ.

Share with your friends :