විවාහ කර ගැනීම සඳහා කාන්තාවන් පැහැර ගෙනයාම වලක්වන ලෙස ඉල්ලමින් කිරිගිස්ථානයේ කාන්තාවන් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා පවත්වා තිබේ.
ඒ අයිසඩා කනේට්බෙකොවා නමැති 27 හැවිරිදි තරුණියක විවාහ කර ගැනීම සඳහා පැහැර ගෙන ගොස් මරාදැමීමත් සමගය. ඇය විවාහ කරගැනීම සඳහා උත්සහ කල පුද්ගලයකු විසින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග ඇයව මෝටර් රථයකට බලහත්කාරයෙන් දමා ගෙන ගොස් තිබු අතර පසුව අතහැර දමා ගොස් තිබු මෝටර් රථයේ තිබී ඇයගේ මළසිරුර හමු විය. ඇයව විවාහ කර ගැනීම සඳහා පැහැරගෙන ගිය පුද්ගලයාගේ මල සිරුරද පිහි ඇනුම් තුවාල සහිතව හමුවිය. එම පිහි ඇනුම් ඔහු විසින්ම සිදුකරගත් බව පොලීසිය පවසයි.
ඇගේ දෙමාපියන් පවසන්නේ අදාළ පුද්ගලයා ඇය පසුපසින් කලක් තිස්සේ පැමිණි අතර ඇයට කරදර නොකරන ලෙස තමන් ඔහුට දන්වා තිබු බවයි.
කාන්තාවන් විවාහ කරගැනීම සඳහා පැහැර ගෙනයාම කිරිගිස්ථානයේ මේ වන විට සුලභ සිදුවීමක්වී තිබේ.
එය අතීතයේ කිරිගිස්ථානයේ පැවති සම්ප්රදායක් බවද පැවසේ. 2013 වසරේදී එය එරට තහනම් කරන ලදී. එහෙත් තවමත් එය එරට සුලභව සිදුවන අතර බොහෝ කාන්තාවන් එම සිදුවීම් පැමිණිලි නොකරන අතර දඬුවම් ලබාදීමද ඉතාම අඩු මට්ටමක පවතී. මේ වන විට කිරිගිස්ථානයේ සිදුවන විවාහ වලින් පහෙන් එකක්ම එලෙස පැහැරගෙන යාම් වලින් සිදුවන විවාහ බව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
විශේෂයෙන්ම එරට දුප්පත් පවුල් වල තරුණයන්හට තරුණියක් පැහැර ගෙන ගොස් විවාහ කර ගැනීම ඉක්මන්ම හා ලභාදායීම ක්‍රමය වී තිබේ.
2018 වසරේදී තමන් පැහැර ගෙන ගිය තරුණයා සම්බන්ධයෙන් එරට පොලිස් ස්ථානයකට පැමිණිලි කරන්නට ගිය බුරුලායි ටර්ඩලි කිසී නමැති 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක පොලිස් ස්ථානය තුලදීම පහරදී ඝාතනය කරන ලදී. ඇය පැහැර ගෙන ගිය තරුණයා හට විසි වසරක සිර දඬුවම් හිමිවූ අතර එම පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට දඬුවම් ලබා දෙන ලදී.