27 C
Colombo
18/01/2025

ප්‍රශ්නගත පොල්තෙල් යලිත් මැලේසියාවට හරවා යවයි

Share with your friends :

මෙරටට ආනයනයකර තිබු ප්‍රශ්නගත “ඇෆ්ලටොක්සීන්” අඩංගු බවට පරීක්‍ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට අඟහරුවාදා (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් මෙම පොල්තෙල් කන්ටේනර් පහේ පොල්තෙල් මෙටි‍්‍රක්ටොන් 100 ක් පමණ ඇතුළත්වන බව රේගුව පවසයි.
පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කළ පොල්තෙල් කන්ටේනර් 13 ක පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් තහවුරු විය.එම පොල්තෙල් ප‍්‍රති අපනයනය කරන ලෙස අදාල අංශ රේගුවට උපදෙස් ලබාදී තිබේ. මේ අතර මේ ප්‍රශ්නයත් සමග පනවන ලද නව නීති නිසා ඇතිවූ තත්වයන් සෙසු ද්‍රව්‍ය ආනයන කටයුතුවලටද අහිතකර ලෙස බලපා තිබේ.
මේ අතර තත්ත්ව පරීක්‍ෂණයෙන් අසමත් වූ සෙසු පොල්තෙල් තොග ද ඉදිරියේදී ප‍්‍රති අපනයනය කරන බවත් මෙම තොගය එහි ආරම්භය බවත් එම නිලධාරියා පැවසීය.
අදාල සමාගමේ ගබඩාවලින් පොල්තෙල් නැවත වරායට ගෙනඒමට කටයුතු කළ බවත් එම සමාගමේ ගබඩාවලින් පොල්තෙල් පිටවී නොමැති බවට තහවුරු වූ බවත් එම නිලධාරියා පවසයි.
තත්ත්වය පරීක්‍ෂණය අසමත් වූ වෙනත් ආනයනික සමාගමකට අයත් පොල්තෙල් සහිත බවුසර් දෙකක් පසුගිදා දංකොටුවෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රේගු බාරයේ පවතී. දඹුල්ලෙන් ද සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් පසුගිදා අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබීය.මෙම පොල්තෙල් බවුසර්වල සහ කන්ටේනරයේ පොල්තෙල් සාම්පල් පරීක්‍ෂණ සඳහා යොමුකර තිබුණ ද මේ දක්වා ඒවායේ ප‍්‍රතිඵල ලැබී නොමැත.
මේ අතර මෙම ප්‍රශ්නය පසුපස මෙරටට පාම් ඔයිල් ආනයනය කරන සමාගම් හා ඇතැම් විදෙස් රටවල් සිටින බවටද චෝදනා එල්ලවී තිබේ.

Share with your friends :