27 C
Colombo
19/01/2025

කැරොලයින් ජූරි බලෙන් ගැලවූ 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ යලිත් පුෂ්පිකාටම

Share with your friends :

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීමට ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් උදුරාගත් එම කිරුළ සංවිධායක මණ්ඩලයට බාරයට ගෙන එම කිරුළ නිර්මාණය කළ වෝග් ජුවලර්ස් ආයතනයට මේ වන විට භාරදී තිබේ.
මෙවැනි සිදුවීමක් කිසිසේත් නොවිය යුත්තක් බවත් සංවිධායක මණ්ඩලය සහ විනිශ්චය මණ්ඩලය ඒකමතිකව ලබා දුන් කිරුළ කිසිවකුටත් නැවත ලබාගත නොහැකි බව එහි සංවිධායකයන්ගේ තීරනය වී තිබේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියයි.
එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පලදවන ලද්දේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි.
කෙසේ නමුත් ඒ සමගම සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි.
ඒ සමගම එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බවයි.
ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය.
ඒ අවස්ථාවේ පුෂ්පිකා ද සිල්වා ලැජ්ජාවෙන් වේදිකාවෙන් ඉක්මනින් ඉක්මනින් බැස ගියාය.
2021 ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදුවේ යැයි රූ රැජින තරගය නිමාවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය මාපියන් සමග අද අලූයම 2.00 ට පමණ කුරුඳුවත්ත පොලිසියට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
සිද්ධියට මුල් වු බ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ඇතුලූ පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඇය කුරුදුවත්ත පොලිසියට කැඳවූවද ඇය පැමිණියේ නැත.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා කුරුදුවත්ත පොලිසිය අවස්ථා කිහිපයකදීම කැරොලයින් ජූරිට දුරකතනයෙන් අමතා ඇතත් ඒ කිසිවකට ඇය ප‍්‍රතිචාර දක්වා නැත.
පොලීසියට පැමිණිලි කිරීමට පෙර විවාහක රූ රැජන තරගයෙන් ජය ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත කර තිබිණි. රූ රැජින කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේදී සිදුවූ තුවාල හේතුවෙන් මෙසේ රෝහල් ගත වී තිබිණි.

මේ අතර 2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කර ඉතා සුළු ඒ මොහොතකින් එම කිරුළ උදුරා ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා තම සමාජ ජාල ගිණුමේ එකී සිදුවීම ගැන මෙම සටහන තබා තිබේ. ඒ සිද්ධිය විසඳෙන්නට පෙරය.

ආයුබෝවන්!
මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.
දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා
– කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

Share with your friends :