27 C
Colombo
15/11/2024

අගරදගුරුතුමන් මා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වෙනවා-මෛත්‍රීපාල සිරිසේන

Share with your friends :

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් සභාවට තනිව තරඟ කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණයට අදාළ පනත සම්මතවීමෙන් පසුව බවය.
තවම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත්, ඒ ගැන මෙතෙක් පක්‍ෂය සාකච්ඡා කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මේ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ කාදිනල්තුමන්ගේ ප්‍රකාශ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් තිබේදැයි සැක මතුවන බවයි.
පාස්කු ඉරුදින සිදුවූ කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැතැයි කී දයාසිරි ජයසේකර මහතා එතුමාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි සොයාබැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද කීවේය.
එය නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව කී මහලේකම්වරයා උසාවියකින් වරදකරු වන තුරු කිසිවෙකුත් වරදකරුවකු නොවන බව ද පැවසීය.
බෝම්බ ප්‍රහාරය එල්ල කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන බවත්, මෙවැනි ප්‍රකාශවලින් සැබෑ වරදකරුවන් යටපත් වන බවත් කී ජයසේකර මහතා පක්‍ෂය ගොඩනගාගෙන යන අවස්ථාවක මෙවැනි පහරදීම් සාමාන්‍ය බව ද සඳහන් කළේය.

Share with your friends :