27 C
Colombo
19/01/2025

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර දුරකථන සංවාදයක්

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් දුරකථන සංවාදයක නිරත වී තිබේ.
ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය කෘතඥතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” යනුවෙන් මෙහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ රාජපක්ෂ මහතා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටිබව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බව කී රාජපක්ෂ මහතා. “දිළිඳුකම තුරන් කිරීම අපේ ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” යනුවෙන් පැවසූ බව එම නිවේදනයේ දැක්වේ.

මෙහිදී තමා 2014 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජිං පින් ජනාධිපතිවරයා චීන යේ සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ.
කලින් සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී රාජපක්ෂ ජනාධිපතිවරයා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බව එහිදී ප්‍රකාශ කර ඇත.
චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මූල්‍ය පහසුකම අගය කළ රාජපක්ෂ මහතා එය ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇතැයි කීය.
ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ රාජපක්ෂ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සිය සුභාශීංසන පුද කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Share with your friends :