27 C
Colombo
19/01/2025

පාස්කු ප්‍රහාරය එල්ලකල අය සොයානොගැනීම පුදුමය දනවන ප්‍රහේලිකාවක්-අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව

Share with your friends :

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කරමින් මහා විනාශයක් සිදුකළ අය සොයාගන්නට සහ ඔවුන්ට දඬුවම්දීමට ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවන තුරුත් නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේලිකාවක් බවත්, මෙම පරීක්‍ෂණ සිදුකරන ආයතනවල කාර්යක්‍ෂමතාවයට යම් බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් එතුළින් මතුවන බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙවැනි මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන් සැලසුම් කරන, සිදුකරන සහ අනුබල දෙන කිසිවකුට නීතියේ රැහැනින් මිදීයාමට කිසිඳු ඉඩක් නොමැති බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීම සාමය ආරක්‍ෂා කිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලු නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව ද එහි සඳහන් වේ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මැක්ස්වෙල් සිල්වා, ජේ.ඩී ඇන්තනී ප්‍රනාන්දු, ඇන්ටන් රංජිත් කොළඹ සහායක රදගුරුතුමන්ලා සහ ෆ්‍රීලි මුතුකුඩආරච්චි, ෆ්‍රැන්සිස් සේනානායක, ඩිලාන් ප්‍රනාන්දු, සිරිල් ගාමිණී ප්‍රනාන්දු, සිසිල් ජෝයි පෙරේරා, කැමිලස් ප්‍රනාන්දු, ශාන්ත සාගර හෙට්ටිආරච්චි, ලෝරන්ස් රාමනායක, ඩෙනින්ටන් සුබසිංහ යන පියතුමන්ලාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය නිකුත් කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවද
යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන කිසිදු දේශපාලන බලපෑමක් නොකරන ලෙස රජයෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඉල්ලා සිටින බවද එම කමිටුව පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමට නම් ඉදිරියේදි ගතයුතු පියවර 04ක්ද ඔවුන් දක්වා ඇති අතර ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව වගකිවයුත්තන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනම් කර ඔවුන් නීතිය හමුවට ගෙන ඒම, ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි එය වළක්වා ගැනීමේ වගකීම සිතා මතා පැහැර හැරි – නෛතික පියවර ගැනීමට ජනාධිපති කොමිසමද නිර්දේශ කර ඇති දේශපාලන නායකයින් සහ නිලධාරින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් සම්පුර්ණයෙන්ම තහනම් කිරීම එම පියවර හතරයි.
එම ඉල්ලීම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 02ක් ගතවන 2021 අප්‍රේල් 21 දිනට පෙර ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදාළ මුල් පියවරක් හෝ තැබීමට රජය අසමත්වුවහොත් ඉදිරියේදි විරෝධතා ක්‍රියාමාර්ග රට පුරා ශක්තිමත්ව දියත් කරන බව එම කමිටුව අවධාරණය කරයි.

Share with your friends :