27 C
Colombo
20/01/2025

කොරෝනා ලොවෙන් තුරන්වුවත් වසර 2 ක් ලංකාවේ PCR පරීක්ෂණ කලයුතු අපූරු ජර්මානු ගිවිසුමක්

Share with your friends :

කොරෝනා රෝගයට ලොව සියලු දෙනා එන්නත් කර එම රෝගය ලොවෙන් තුරන් කලද වසර දෙකක් යනතුරු ශ්‍රීලංකාවේ කටුනායක ගුවන්තොටුපල හරහා යන එන ගුවන් මගීන් ජර්මානු සමාගමකට මුදල් ගෙවා PCR පරීක්ෂණ කලයුතු අපූරු ගිවිසුම කිසි ලෙසකින් අත්සන් නොකරන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන් රජයෙන් ඉල්ලා සිටිති.
මේ ගිවිසුම අත්සන්කර ගැනීමේ අවශ්‍යතාවය නිසා කටුනායක ගුවන්තොටුපලේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පරිත්‍යාග ලෙස ලැබුණු රුපියල් මිලියන සියයක් වටිනා PCR යන්ත්‍රය මාස දෙකක් ගතවී ඇතත් තවමත් සවිකර නැතැයි සෞඛ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.මෙම යන්ත්‍රය සවි නොකරන්නේ අදාළ රසායනාගාරය වසා දමා ජර්මානු මුල්‍ය සමාගම මගින් ඇති කිරීමට නියමිත රසායනාගාරය සඳහා අවස්ථාව ලබා දීමට බවට සෞඛ්‍ය වෘත්තිකයෝ චෝදනා කරති.
අදාළ යන්ත්‍රය සවිකළේ නම් පැය එකහමාරක කාලයක් තුල කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ ප්‍රතිපල ලබාදීමට හැකි අතර ඒ අනුව විදේශ රටවල සිට පැමිණෙන ජනතාවට විශාල සේවයක් සැලසේ.
කෙසේ වෙතත් මෙම යන්ත්‍රය සවිකළහොත් ඒ මගින් PCR පරීක්ෂණයක් සිදුකරන්නට රුපියල් 1600 සිට රුපියල් 2000 අතර මුදලක් පමණක් වැයවේ. දැනට විදෙස් රටවල සිට එන ජනතාවගෙන් PCR පරීක්ෂණයක් සඳහා ඩොලර් 40 ක් එනම් රුපියල් අටදහසක පමණ මුදලක් අය කෙරේ. එම ඩොලර් 40 ක මුදල නවලෝක රෝහල මගින් අයකරනු ලැබේ.ඒ අදාළ කටයුතු නවලෝක රෝහල මගින් සිදු කරන නිසාය. නොමිලේ අදාළ PCR යන්ත්‍රය ලබා දුන් සමාගම ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ උපකරණ එම සමාගමෙන්ම ලබා ගන්නා ලෙසට කොන්දේසියක් පනවා ඇතැයි සඳහන්වේ.ඒ අනුව සැබවින්ම මෙය පරිත්‍යාගයක් නොවන බවටද මතයක් පවතී. එහෙත් ඒ සඳහා වැය වන මුදල රුපියල් 1600 සිට රුපියල් 2000 ක් නිසා ජනතාවගෙන් රුපියල් අටදහසක් අයකරද්දී රුපියල් 6000 බැගින් මුදලක් අඩුවෙන් වැයවේ. ඒ අනුව එම මුදල අවශ්‍යනම් රජයට ලබා ගෙන ඒ මුදලින් රටේ දුප්පත් ජනතාවට අවශ්‍ය PCR පරීක්ෂණ සඳහා ලබා ගැනීමට හැකිය. දැනට මේ මුළු මුදලම නවලෝක රෝහල වෙත ගලායන අතර එහිදී PCR පරීක්ෂණ සඳහා විශාල කාලයක්ද ගත වන බව සඳහන්ය. මේ සමස්ත පරීක්ෂණ ක්‍රියාවලියම රජයේ රසායනාගාර වල සිදු කරන්නට සියලු පහසුකම් තිබියදීත් එය පුද්ගලික අංශයට ලබා දීම සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය වෘත්තිකයෝ දැඩි විරෝධය පා කර ඇතත් පලක්වී නැත. රජයේ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කරන ඇතැම් විශේෂඥ වෛරසවේදීන් පිරිසක් තම රාජකාරී සේවාකාලයෙන් පසුව පුද්ගලික රෝහල්වල සේවය කිරීම නිසා රජයේ රසායනාගාර වල සේවාවලට බාධා පමුණුවන බවට සෙසු සෞඛ්‍ය වෘත්තීයවේදීන් චෝදනා කරති. රජයේ රසායනාගාර වල සාමාන්‍ය PCR පරීක්ෂණයකට වැය වන්නේ රුපියල් 1600 ක පමණ මුදලකි.
මේ වන විට කටුනායක ගුවන් තොටුපලේ දැනට ඇති රජයේ රසායනාගාරය වසා දමා ජර්මානු මුල්‍ය සමාගමක් හරහා ඩොලර් 34 බැගින් PCR පරීක්ෂණ සිදු කරන්නට සංචාරක අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මේ සඳහා අදාළ රසායනාගාරය ඉවත් කර ගන්නා ලෙසටද සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දන්වා තිබේ. මෙතෙක් රජය සතු කටුනායක ගුවන්තොටුපලේ PCR රසායනාගාරයේදී එකදු PCR පරීක්ෂණයක්වත් සිදුකර නැතත් ජර්මානු සමාගමට ඒ සඳහා අවසරදීමට උත්සහ දරන අතර ඊට අදාල ගිවිසුම අනුව වසර දෙකක් යනතුරු ගුවන්තොටුපල භාවිතාකරන මගීන් සියල්ල අනිවාර්යයෙන්ම ඒ මගින් PCR පරීක්ෂණ ලබා ගත යුතුය.
ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කළහොත් කොරෝනා රෝගයට සියලු දෙනා එන්නත් කර එම රෝගය ලොවෙන් තුරන් කලද වසර දෙකක් යනතුරු කටුනායක ගුවන්තොටුපල හරහා යන ගුවන් මගීන් PCR පරීක්ෂණ ඩොලර් 34 බැගින් ගෙවා ලබා ගත යුතුය. එම නිසා මෙම ගිවිසුම කිසිදු හේතුවක් නිසා හෝ අත්සන් නොකරන ලෙසද රජය මගින් අදාළ කටයුතු සිදු කරන ලෙසද එම ආදායම රජයට ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය වෘත්තිකයෝ ඉල්ලා සිටිති.
අදාල PCR යන්ත්‍ර පරිත්‍යාගය සිදුකල සමාගමේ දේශීය නියෝජිතයා ලෙස J.L. මොරිසන් සමාගම කටයුතු කරන බව පැවසේ. J.L. මොරිසන් සමාගම යනු සියයට 70 කට වැඩි කොටස් හේමාස් සමුහ ව්‍යාපාරයට හිමිකාරිත්වය ඇති සමාගමකි.

Share with your friends :