27 C
Colombo
20/01/2025

සූවස් ඇල සෙනසුරාදා සවස් වනවිට යථා තත්වයට-නැව හරවන්න ජාත්‍යන්තර සහය

Share with your friends :

ඊජිප්තුවේ සුවස් ඇල හරහා සිරවී ඇති විශාල කන්ටේනර් නැව සෙනසුරාදා සවස් වන විට නැවත හරවා ඉදිරියට ධාවනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අදාළ නැව් සමාගම පවසයි. මේ සමග අදාළ මාර්ගයේ නැව් ගමනාගමනය යථා තත්වයට පත්වනු ඇත. අදාළ නැව සිරවී ඇති ස්ථානයෙන් ඉවත් කර ගැනීම් සඳහා අමතර ටග් යාත්‍රා යොදවා තිබේ.එසේම ඒ සඳහා ඇමරිකානු නාවික හමුදා විශේෂඥයින් පිරිසක්ද යවා තිබේ. මීට අමතරව තවත් රටවල් රැසක් ඒ සඳහා සහය ලබා දී ඇත්තේ මේ නැවේ ප්‍රශ්නය හේතුවෙන් රටවල් රැසකට ආහාර හා ඉන්ධන සැපයුම් අඩාලව ඇති නිසාය.
මෙම නෞකාව සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිටීම නිසා ලෝක ඉන්ධන මිල හා අනෙකුත් ආහාර මිල ගණන් ඉහළයාම පවා සිදුවිය. ඒ අදාළ නෞකාව සිරවීමත් සමග යුරෝපය හා ආසියාව අතර සැපයුම් මාර්ග ඇනහිටීම නිසාය. මේ වන විට මෙම නැව් 216 ක් මෙම මාර්ගයේ සිරවී පවතී.
ඊජිප්තුවේ සුවස් ඇල හරහා එවර් ගිවන් නමැති විශාල කන්ටේනර් නැවක් සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය දැනට දින කීපයක් තිස්සේ ඇනහිට තිබේ. මෙම නැව සිරවීමට හේතුව දරුණු සුළං තත්වයක් පැවතීම බව පැවසේ.
මෙම නෞකාව එවර්ග්‍රීන් නැව් සමාගමට අයත්ය. එය පැනමාවේ ලියාපදිංචි කර ඇති අතර චීනයේ සිට නෙදර්ලන්තය වෙත යාත්‍රා කරමින් සිටින අතරතුර සුවස් ඇල හරහා යාමේදී සිරවී තිබේ.ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 කි.
අඩි 1300 ක් දිගින් හා අඩි 194 ක පළලින් යුත් මෙම නෞකාව 2018 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. මේ වන විට ටග් යාත්‍රා අටකින් එම නෞකාව කෙලින් කරන්නට උත්සාහ ගත්තද තවමත් එය සාර්ථක වී නොමැත. 1859 ඉදිකිරීම් ආරම්භ කල සුවස් ඇල 1869 දී වැඩ අවසන් කරන ලදී . එය මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද යාකරනු ලබයි. එය ආසියාව හා යුරෝපය යා කරන කෙටිම මාර්ගය වේ. සූවස් ඇල මාර්ගය කිලෝමීටර් 193.3 ක් දිගින් යුක්තය.

Share with your friends :