27 C
Colombo
20/01/2025

මතබේදාත්මක ආනයනික පොල්තෙල් ප්‍රති අපනයනය කෙරේ – හිඟය පියවන්න පාම් ඔයිල්

Share with your friends :

මතබේදයට තුඩු දී ඇති ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික පොල් තෙල් තොග නැවත ප්‍රති නැව්ගත කරන ලෙස රජය විසින් කල දැනුම්දීම අනුව ඒවා නැවත ප්‍රති නැව්ගත කිරීමට කිරීමට ඒවා මෙරටට ගෙන්වන ලද අදාල සමාගම් කටයුතු කරමින් සිටිති.
ඒ අනුව මෙරටට පොල්තෙල් ආනයනය නතර වන අතර මින්පසු පාම් ඔයිල් ආනයනය කර තෙල් අවශ්‍යතාවය සැපිරෙනු ඇත. සෞඛ්‍ය ප්‍රශ්න රැසකට හේතුවන පාම් ඔයිල් මෙරට ජනතාව අතර භාවිතය අඩු කිරීම සඳහා රජය පාම් ඔයිල් සඳහා බදු වැඩි කරන ලදී. ඉන් පසු එම බදු අඩුකර ගැනීම සඳහා පාම් ඔයිල් නිපදවන රටවල් හා මෙරටට ඒවා ගෙන්වන සමාගම් විශාල වෙහෙසක් ගන්නා ලදී. මීට අමතරව කොප්පරා ශ්‍රීලංකාවට ගෙන්වා ඒ මගින් පොල්තෙල් නිෂ්පාදනයටද පුද්ගලික සමාගම් තුනකට පමණක් අවසරය ලැබී තිබේ.
මේ අතර පිළිකා කාරක ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් එක බිඳක් හෝ වෙළෙඳපොළට නිකුත් වී නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
පොල්තෙල්වල අඩංගු වන ඇෆ්ලටොක්සීන් කියන විෂ රසායනය පිරිපහදුවේදී ඉවත් වන නමුත් ආන්දෝලනාත්මක පොත්තෙල් තොගයේ ඇෆ්ලටොක්සීන් වැඩි ප්‍රතිශතයක් අන්තර්ගතවී පවතින හෙයින් පිරිපහදුවේදී ඒවා ඉවත් නොවන බවත් එම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දි ඇත්තේ ඒ අනුව බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.ඒ අනුව එම පොල්තෙල් තොගයෙන් එක බිඳක් වෙළෙඳ පොළට නිකුත් වී නැතැයි ද ඔහු කීය.
එසේම පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරක අඩංගු එම පොල්තෙල් තොග මෙරටට ගෙන ඒමට අනුබල දුන් පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු සියල්ලන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර දඬුවම් පමුණවන ලෙසත් සිය පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ අතර අලුත් අවුරුදු සමය හේතුවෙන් රට තුල තෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ.

Share with your friends :