27 C
Colombo
19/01/2025

මාස දහයකදී විශාල වෙනසක් කරන්නට මට හැකි වුනා-ධම්මික මල්රාජ් ද සිල්වා-UAE ශ්‍රීලංකා තානාපති

Share with your friends :

ධම්මික මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ කොන්සල් ජනරාල්වරයා ලෙසද ඔහු සේවය කර තිබේ. 2020 ජනවාරි මාසයේදී ඒ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රීලංකා තානාපතිවරයා තනතුරට පත් කරන ලද අතර 2020 මැයි මාසයේදී එම තනතුරේ වැඩභාර ගත්තේය. කොවිඩ් වසංගතය අතරමැද එම තනතුරෙහි භාරගත් ඔහු එම කාලය තුල එරට සිටි ශ්‍රීලාංකිකයන්ට සහන සැලසීමටත් අවශ්‍ය අයට ශ්‍රීලංකාවට යාමට අවස්ථාව ලබා දීමටත් ඔහු දැඩි කැපවීමකින් කටයුතු කළේය. කෙටි කාලයක් තුල එරට වෙසෙන ශ්‍රීලාංකික ජනතාවට සමීප ස්ථානයක් බවට එරට තානාපති කාර්යාලය පත් කරන අතරතුර එම ජනතාවට විශාල මුදලක් ඉතිරිකර දෙන්නටද ඔහු සමත්ව ඇත. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රීලංකාව අතර වෙළඳ ගනුදෙනු පුළුල් කරමින් දෙරට අතර ආර්ථික හා සමාජීය සම්බන්ධතා වැඩිදියුණු කරන්නට ඔහු සමත්ව ඇත්තේ ශ්‍රීලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට දායකවෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රීලංකාව අතර සමීප සම්බන්ධතා වැඩි දියුණු කර ගනිමින් එරට වෙසෙන ශ්‍රීලාංකික ජනතාවට සුවිශේෂී සේවාවක් සිදුකරන මල්රාජ් ද සිල්වා තානාපතිවරයා තම වැඩපිළිවෙල සම්බන්ධයෙන් www.channelnewslanka.com වෙත කරුණු දැක්වුයේ මෙසේය.
“මම වැඩ භාරගත්තේ 2020 මැයි 9 වැනිදා, මම වැඩභාර ගත්තට පස්සේ තානාපති කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනා PCR පරීක්ෂණයට ලක් කළා . එහිදී කීපදෙනෙකුට කොවිඩ් වැළඳී තිබුනා, මම සොයා බැලුවහම එකට හේතුව මීට පෙර තානාපති කාර්යාලයේ නිලධාරීන් ලවා වියලි ආහාර අවශ්‍ය ශ්‍රීලාංකිකයන්ට හා කොවිඩ් ආසාදිත ශ්‍රීලාංකිකයන්ට ආහාර පාන බෙදීම සිදු කරලා තිබුනේ . ඒ හින්දා අයෙත් මේ නිලධාරීන්ගේ මාර්ගයෙන් ඒ දේ කලොත් ආපහු ඒ වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන් නිසා මම මෙහෙ තියෙන සමිති සමාගම් හරහා ඒ වැඩේ කළා. එතනදී සමිති සමාගම් 11 ක් මට හමුවුනා , පොඩි බෑග් හා පෙට්ටි හදලා සති දෙකකට අවශ්‍ය ආහාර ශ්‍රීලාංකික ජනතාවට වියලි ආහාර ඒ අය හරහා බෙදා දුන්නා , ඒ වැඩපිළිවෙල කාර්යක්ෂමව සිදුකළා

UAE හි සේවය කරන ශ්‍රීලාංකිකයන්ට තානාපති කාර්යාලය හරහා කාර්යක්ෂම සේවාවක්
ඊට පස්සේ තානාපති කාර්යාලයේ සේවකයන් ලවා ශ්‍රීලාංකික ජනතාවට හොඳ සේවාවක් ලබා දෙන්න මම වැඩ පිළිවෙලක් සකස් කළා, ඒකට හේතුවුනේ ඒ කටයුතු නිසි පරිදි සිදු නොවන බවට තිබුණු චෝදනා , තානාපතිවරයෙක් ලෙස ඒ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න මට අවශ්‍ය වුනා, මොකද සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්න දෙන්නේ නැහැ කියලා, සැලකීමක් නැහැ කියලා චෝදනා තිබුනා, මම අපේ නිලධාරීන්ට කතා කළා, මම ආපු හේතුව හා මගේ අවශ්‍යතාවය, මගේ බලාපොරොත්තුව හා මගේ ක්‍රමවේදය, ඒ අයට දැන්වුවා ,
රාජ්‍ය සේවකයෝ ලෙස අප බැඳිලා ඉන්නවා ජනතාවට සේවය කරන්න කියලා රාජ්‍ය සේවකයෝ ලෙස අප වැටුප් ලබන්නේ ඒ සඳහා බව ඔවුන්ට දැනුම් දුන්නා , මම කිව්වා පිරිමි කෙනෙක් නම් ඔබතුමා නැතිනම් සර් ,ගැහැණු කෙනෙක් නම් ඔබතුමිය නැතිනම් මැඩම් කියලා මෙහි සේවය ලබා ගන්න එන ජනතාවට අමතන ලෙස මා නිලධාරීන්ට දැනුම් දුන්නා , රාත්‍රියකට වුනත් හදිසි අවශ්‍යතාවයකදී අප ජනතාවට සේවය කල යුතු බව මම ඒ අයට දැනුම් දුන්නා , අපේ මුලික අරමුණ ජනතාවට සේවය කිරීම බව මම ඔවුන්ට කියලා දුන්නා ,
මම එන්න කලින් මේ තානාපති කාර්යාලයේ සේවය ලබා ගන්න එන ජනතාව හිටියේ මහ පාරේ වාඩිවෙලා , අපේ ගේට්ටුවේ ඉන්නවා මුරකාරයෙක්, ඔහුට මම කිව්වා හැඳුනුම්පත බලලා විස්තර ලියා ගෙන හැමෝටම එන්න දෙන්න කියලා , ඒ අනුව ගරාජයේ තිබුණු වාහනය එලියට දාල ඒකෙ පුටු දැම්මා ජනතාවට වාඩිවෙලා ඉන්න . දැන් පාරේ ඉන්න ඕන නැහැ . ඒ වගේම මම තානාපතිවරයාගේ කාර්යාලයේ දොරත් ඇරියා, දැන් ඕනෑම කෙනෙකුට ඇවිත් මාව හමුවෙන්න පුළුවන්, මම ඒ විදිහට වැඩ කරන කොට නිලධාරීන් ඒ ක්‍රමයට අනුගත වුනා , ඒ තුලින් ජනතාවට යහපත් සේවාවක් දෙන්න මට හැකි වුනා

UAE ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ එවකට සිටි කාර්ය මණ්ඩලය

ශ්‍රීලාංකික ජනතාවට ආපසු ශ්‍රීලංකාවට යන්නට නිසි ක්‍රමවේදයක් සකස් කරයි
මම එනකොට ශ්‍රීලංකාවට යන්න ක්‍රමවේදයක් තිබුනේ නැහැ , මිනිස්සු ලංකාවට යන්න පොර කකා හිටියේ , ඒ සඳහා නිසි ක්‍රමවේදයක් තිබුනේ නැහැ, ඒ වන විට තිබුනු ක්‍රමයේ අවශ්‍ය දේවල් තිබුනෙත් නැහැ, එම නිසා පරිඝනකගත ක්‍රමවේදයක් සකස් කළා , ඒ සඳහා මෙහෙ ඉන්න අයත් සම්බන්ධ කරගත්තා , ඒකේ ලියාපදිංචි වුනු විදිහට ඒ කටයුත්ත ආරම්භ කළා .2020 ජුලි මාසයේ 10 වැනිදා මේ රටේ ආගමන විගමන නීති වෙනස් කරලා මෙහෙ වීසා නැතුව ඉන්න අයට දඩ ගහන්න පටන් ගත්තා , ඒ අනුව ශ්‍රීලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න මෙරට ඉන්න ශ්‍රීලාංකිකයන්ගේ සියලු විස්තර හා ඔවුන්ට ඇති වීසා වර්ග හා ඒවා අවසන් වන දින ඇතුලත් දත්ත විශ්ලේෂණ ක්‍රමවේදයක් සකස් කළා,ඒකට මට මෙහෙ ඉන්න ශ්‍රීලාංකිකයෙක් උදව් කළා , ඒ අනුව ඒක හරහා මේ සියලු දෙනගේ විස්තර ලබා ගත්තා, VISIT VISA කී දෙනාද? රැකියා VISA කීයද ? ආපු දවස ආදී විස්තර ලබා ගෙන ඒ ඒ කොටස් වලට බෙදලා ඒ ඒ කාණ්ඩ වලට හැමෝටම අවස්ථාවක් ලැබෙන විදිහට වැඩපිළිවෙලක් සකස් කරලා හැම කාණ්ඩයකටම යම් ප්‍රතිශතයක් බැගින් ලබා දුන්නා ,එක එක කාණ්ඩ යටතේ ශ්‍රේණි ලෙස වෙන්කර ගත්තත් ගැබිණි මවක් නම් , වයස්ගත කෙනෙක් නම් , රෝගාබාධ ඇති කෙනෙක් නම් එසේත් නැතිනම් ඉගෙන ගන්න යන දරුවෙක් නම් ඒ අයට මුලිකත්වය ලබා දීලා මුලින්ම ශ්‍රීලංකාවට යැව්වා,
පළමු ගුවන් යානය යැව්වේ ජුනි මාසයේ 06 වැනිදා, එදා මමත් ඩුබායි ගුවන්තොටුපලට ගියා,මට බලන්න ඕනෑ වුනා ඒකෙ තියෙන ප්‍රශ්න බලන්න ජනතාවට කරදර තියෙන තැන් ,
මේ කටයුතු වලට ශ්‍රීලංකාවට යවන ජනතාව සමබන්ධ කර ගැනීමේ වැඩවලට අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් රාත්‍රී 2.00 – 3.00 වන තුරු සේවය කරන්න වුනා , ඒ නිසා මම තේරුම් ගත්තා මේ සීමිත නිලධාරීන්ට අයට ඒ අයගේ මේ වැඩේ අමාරුයි කියලා, හේතුව ඒ අයට දරු පවුල් ඉන්නවා නේ. ඒ නිසා මේ වැඩේට මෙහ ඉන්න අනෙක් ශ්‍රීලාංකිකයන්ද සම්බන්ධ කර ගත්තා, මේ හැම දෙකටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විශාල සහයක් ලබා දුන්නා

UAE හි ශ්‍රීලාංකිකයන්ට වියලි ආහාර බෙදාදීමේ වැඩපිලිවෙල

ඒ වෙනකොට ඩුබායි වල හා අබුඩාබි දෙකෙන්ම ජනතාවට යන්න බලාපොරොත්තුවෙන් හිටියා, ඩුබායි පිරිස වැඩියි , ඒ වෙනකොට අඩුබාබි වලින් ලංකාවට යන්න හිටියේ 1800 ක් විතර. ඒ නිසා ඒ අය ගුවන්ගමන් හයකින් විතර ඉක්මනින් ඉවර කර ගත්තා, ඉන්පස්සේ ඩුබායි වල පිරිස යවන්න පටන් ගත්තා , ඒකට ශ්‍රීලාංකිකයන් පිරිසක් ස්වේච්ඡාවෙන් උදව් කළා, 2020 ඔක්තෝබර් වෙනකොට මම හදිසියේ ශ්‍රීලංකාවට යන්න හිටපු සේරමලා යැව්වා , ඒ වෙනකොට දවසකට මාව හම්බෙන්න ශ්‍රීලාංකිකයන් දෙසිය පනහක් තුන්සියයක් එනවා ,ඒ ප්‍රමාණය මේ විදිහට ජනතාව ශ්‍රීලංකාවට යැවීමත් සමග ගොඩක් අඩු වුනා,
මට ලංකාවේ කතා කරන භාෂා තුනම පුළුවන්, සිංහල , ඉංග්‍රීසි ,දෙමල භාෂා තුනම වගේම අරාබි භාෂාවත් ටිකක් පුළුවන්
මම කාටත් කියලා නැහැ හෝටල් වලට යන්න කියලා නැහැ , මේ අය හෝටල් වලට වගේම රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වලටත් යැව්වා, මම මේ ක්‍රමවේදය නිසි ආකාරයට කළා, විනයක් ඇතිව නීතියට මම කටයුතු කළා , දැනහැඳුනුම්කම්වලට නොව අවශ්‍යතාව අනුව සුදුස්සාට මුලිකත්වය දුන්නා,

ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට අයකළ ඩිරාම් 2600 ක ගාස්තුව ඩිරාම් 1150 ට අඩු කර ටිකට්පතකින් රුපියල් 75,000 ක් ජනතාවට ඉතිරි කර දෙයි

අපි මුලින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ විතරයි යැව්වේ, මම එනකොට ශ්‍රීලංකන් ගුවන් සේවය ONE WAY ඩිරාම් 2600 ක් ගත්තා , මේක හරිම අසාධාරණ ගානක් බව මට තේරුනා , පස්සේ මම ඒ අයට කතා කරලා මේක අඩු කරන්න කියලා කිව්වා , ශ්‍රීලාංකිකයන්ගෙන් මේ විදිහට අසාධාරණ අයකිරීම් කරනවට මම කැමති වුනේ නැහැ. ඒ නිසා මම අනෙක් ගුවන් සමාගම්වලට කතා කරන බව මම කිව්වා , ඒ අනුව මම එමිරේට්ස් ගුවන් සේවය සමග සාකච්ඡා කළා , ඒ සමගම කියපු ගාස්තු අඩු කර ගන්නට මම සටන් කළා , ඒ අනුව එමිරේට්ස් සමාගම ONE WAY ටිකට් එකක් ඩිරාම් දහසකට ලබා දෙන්න කැමති වුනා , ඒ අනුව එතෙක් ඩිරාම් 2600 කට දීපු ටිකට්පත ඩිරාම් 1000 කට දෙන්න පුළුවන් වුනා , ඒත් ඩුබායි හා අබුඩාබි වල සිට බස් රථ වලින් ජනතාව ගෙන එන්න වුනු නිසා මේ ටිකට්පත ඩිරාම් 1150 කට පසුව වැඩි කරන්න එමිරේට්ස් සමාගම කටයුතු කළා, , පස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ ගානටම ඒ කියන්නේ ONE WAY ඩිරාම් 1150 ට ටිකට්පත් දෙන්න කැමති වුනා, පස්සේ මම එතිහාඩ් ගුවන් සේවයටත් කතා කළා, ඒ අයත් ඒ ගානට කැමති වුනා, ඒ අනුව ඩුබායි ඉඳලා ශ්‍රීලංකන් හා එමිරේට්ස් ගුවන් සේවාවන් මෙන්ම අබුඩාබි ඉඳලා ඉතිහාඩ් ගුවන් සේවය මගින් ශ්‍රීලාංකිකයන මෙරටට ගෙන එන්න මට හැකි වුනා, ඒ විදිහට ජනතාවට විශාල සේවාවක් කරන්න මම කටයුතු කළා.

UAE රජයෙන් PCR පරීක්ෂණ නොමිලේ ශ්‍රීලාංකිකයන්ට ලබා ගැනීමෙන් රුපියල් කෝටි 36 ක මුදලක් ජනාවට ඉතිරි කර දෙයි

මුල් කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ PCR පරීක්ෂණවලට ඩිරාම් 600 බැගින් අයකලා , මම එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධානියාගෙන් ඉල්ලුවා ශ්‍රීලාංකිකයන්ට නොමිලේ PCR කරන්න කියලා මුලදී බැහැ කිව්වත් පස්සේ දිගටම ඉල්ලුවහම එයා කැමති වුනා නොමිලේ කරන්න.
දිගටම දෙන්න බැහැ කියලා ඔක්තෝබර් මාසයේදී බැහැ කියලා
ශ්‍රීලාංකිකයන් දොළොස් දහසකට නොමිලේ PCR කළා ,ඒ මගින් රුපියල් කෝටි 36 ක මුදලක් ඉතිරි කරන්නට අපේ ශ්‍රීලාංකිකයන්ට ඉතිරි කර දෙන්නට අපට හැකි වුනා , පස්සේ ඒක නොමිලේ දෙන එක UAE ආණ්ඩුව නැවැත්තුවා, දැන් PCR එකකට ගන්නේ ඩිරාම් 85 ක මුදලක් . මේ විදිහට ශ්‍රීලාංකික ජනතාවට මේ කෙටිකාලය තුල විශාල ඉතිරියක් කර දෙන්නට මට හැකි වුනා

www.channelnewslanka.com
මතු සම්බන්ධයි
මීළඟට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපති ධම්මික මල්රාජ් ද සිල්වා ශ්‍රීලංකාවට ලබා දෙන ආර්ථික දායකත්වය …..

Share with your friends :