27 C
Colombo
19/01/2025

පොල්තෙල් පිළිකා කාරක සිද්ධිය පසුපස පාම් ඔයිල් ව්‍යාපාරික මාෆියාවදැයි සැකයක්

Share with your friends :

පිළිකාකාරක පොල්තෙල් සිද්ධිය පසුපස ඇත්තේ ව්‍යාපාරික මාෆියාවක් දැයි සැක මතුවී තිබේ. පිටරටින් පොල් ගෙන්වා මෙරටදී පොල් තෙල් නිපදවීමට ව්‍යාපාරිකයන් තිදෙනෙකුට පමණක් අවසරය ලබාදීමත් ඔවුන් මේ සිද්ධියට ඍජුවම සම්බන්ධයක් ඇති බවත් වෙළඳපොල ආරංචිමාර්ග පවසයි. එසේම මීට සම්බන්ධ එක් ව්‍යපාරිකයකු පුද්ගලික බැංකුවකින් මිලියන 1600 කට අධික ණයක් ලබා ගෙන එය නොගෙවීම නිසා ඔහුට මාදම්පේ පිහිටි තෙල් මෝල වෙන්දේසි කිරීමට අදාල බැංකුව කටයුතු කර ඇති බවද සඳහන්වේ.
එක්වරම පොල්තෙල් සඳහා ප්‍රමිති නීති පැනවීම සිදුව ඇති අතර එය ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතියක් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. එසේම ශ්‍රීලංකාවට මේ ආකාරයට පිටරටින් ගෙන්වන පොල්තෙල් මෙරටදී පිරිපහදුකරණයට ලක්වන අතර එහිදී මෙවැනි ද්‍රව්‍ය සියල්ල ඉවත්වන බවටද පොල්තෙල් නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.
මෙම පිරිපහදු ක්‍රමය මෑත කාලීනව ආරම්භ කරන ලද්දක් වූ අතර එසේ පිරිපහදු කරන හෝ නොකරන මෙරට පොල්තෙල් වල සංඝටක පිළිබඳවද නිසි අවබෝධයක් ජනතාවට නොමැත. මේ අතර මේ සියල්ල පිටුපස් පාම් ඔයිල් ආනයනකරුවන්ද සිටින බවට සැක කෙරේ. එසේම පොල්තෙල් ආනයන බද්දට වඩා පාම් ඔයිල් බදු වැඩි කරන්නට වර්තමාන රජය කටයුතු කිරීම නිසා පාම් ඔයිල් සමාගම් හා ආනයනකරුවන් එම බද්ද අඩු කරගන්නට දැඩි උත්සහයක් ගනිමින් සිටිති. එසේම මෙතෙක් කල් පොල්තෙල් වලට පාම් ඔයිල් මිශ්‍ර කිරීමේ ව්‍යාපාර කර ගෙන ගිය පිරිසකගේ නම්ද මේ සිද්ධියට සම්බන්ධ බව කියවේ. රජය මගින් පාම් ඔයිල් බදු වැඩි කිරීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර වලටද පහර වැදිණි.
එසේම මේ තත්වය මත අලුත් අවුරුඩු සමයේ පොල්තෙල් සඳහා අධික ඉල්ලුමෙන් අසාධාරණ ලාභ ලැබීමේ සුදනමක්ද පවතී. මේ අතර පොල් තෙල් හා පාම් ඔයිල් අපනයනය කරන ආසියාවේ ප්‍රධාන රටවල් දෙකක්ද මෙරට පොල්තෙල් ව්‍යාපාරය සම්බන්ධයෙන් දැඩි උනන්දුවෙන් සිටින බවත් මෙරට වත්මන් රජය පාම් ඔයිල් භාවිතය ජනතාවගේ සෞඛ්‍ය තත්වය ගැන සිතා පොල්තෙල් ප්‍රචලිත කිරීම මෙම රටවලට විශාල ගැටළුවක් වී ඇති බවත් පැවසේ. කෙසේ වෙතත් පොල්තෙල් යන ආහාර පරිභෝජනයට ඍජුව සම්බන්ධ දෙයක් බැවින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර තීරණ ගැනීම සුදුසු බව බොහෝ දෙනා ප්‍රකාශ කරති.
මේ අතර පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට ඇතුළු වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට තමා උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අහිතකර පොල්තෙල් මෙරට වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි කී ගුණවර්ධන මහතා එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතත්, මෙ තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව ද ප්‍රකාශ කළේය.
අහිතකර පොල්තෙල් පිළිබඳ කාරණය එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිදරව්කර ඇති හෙයින් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත් වූ පිරිස සොයාගෙන ඒ අයගෙන් තොරතුරු ලබාගෙන අහිතකර පොල්තෙල් තිබේ නම් එහි සුලමුල සොයා ගැනීමට කටයුතු කරන ලෙසට තමා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් මේ පොල්තෙල් රට තුළට ගෙන ඒම නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබියදී ඒවා රට තුළට ගෙන ආවා නම් එහි වරද පැටවෙන්නේ රේගුවට බවත් ගුණවර්ධන මහතා පැවැසීය
මේ අතර පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්‍රිය මහතා පවසයි.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට දවස් කීපයක් ගතවන නිසා අදාල කන්ටේනර් ආනයනික සමාගම්වල ගුදම් වලට නිකුත් කළ බවයි.
එම සමාගම් දෙක ආනයන කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනිකය අඩංගු යැයි මේ මස 4 වැනිදා රේගුව දැනුවත් වූ බවත් එම පොල්තෙල් තොගය වාහාම ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.
එම සමාගම් දෙකෙන් ආනයන කළ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා නිදහස් වී නොමැති බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර පවතින තත්වය ශ්‍රීලංකාවේ පොල්තෙල් අපනයන කටයුතු වලටද බලපෑම් ඇති කරනු ඇත. පසුගිය වසර කීපය තුල ශ්‍රිලංකාවේ පොල් තෙල් හා ඒ ආශ්‍රිත අපනයන වල ශීග්‍ර ඉහලයාමක් සිදු විය.

Share with your friends :