27 C
Colombo
19/01/2025

ඉදිරි වසර පහේම වැට් බද්ද සියයට 8-නව බදු නැහැ-ආචාර්ය පී.බී.ජයසුන්දර

Share with your friends :

ඉදිරි වසර 5 සඳහා වැට් බද්ද සියයට 8 ක් බවත් ආදායම් බද්ද ගැසට් කර ඇති අනුපාතය බවත් වෙනත් කිසිදු බද්දක් ගෙන එන්නේ නැති බවත් ඒ අනුව ඉදිරි වසර 5 ක කාලය තුළ දී පවතින බදු ක්‍රමය ස්ථාවරව පවත්වා ගෙන යන බවත්, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, මිත්‍රශීලී බදු ක්‍රමයක් වර්තමානයේ දී ලබා දී ඇති බවත්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කොළඹ දී පැවති ආර්ථික සම්මන්ත්‍රණයක් අමතමින් පැවසීය.
මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද වන ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා තවමත් මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයා ලෙස සැලකේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පවා තවමත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්නෙත් තීන්දු තීරණ ගනු ලබන්නේත් ඔහු සම්බන්ධ කර ගෙනය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා,
“අපි හඳුන්වා දුන් බදු ක්‍රමය වෙනස් නොකරන බවට අපි සහතික වෙනවා. ඉදිරි වසර 5 සඳහා වැට් බද්ද සියයට 8 යි. ආදායම් බද්ද, ගැසට් කර ඇති අනුපාතයයි. වෙනත් කිසිදු බද්දක් ගෙන එන්නේ නැහැ. අපට, වඩා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, අනුකූල, මිත්‍රශීලී බදු තන්ත්‍රයක් අවශ්‍ය වන අතර එය අප ලබා දී තිබෙනවා. බදු ආදායම ඉහළ නංවා ගැනීමට නම් පිරිවැටුම්, පරිමාව ඉහළ නංවා ගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගත යුතුයි. බදු ආදායම වැඩි කර ගැනීමට නම් කළ යුත්තේ එයයි ” යයිද සඳහන් කළේය.

Share with your friends :