27 C
Colombo
19/01/2025

පර්යේෂණ මට්ටමේ චීන කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම භයානකයි – රවී කුමුදේශ්

Share with your friends :

චීනය විසින් නිෂ්පාදනය කරන සිනොෆාම් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින එන්නතක් බවත් එම නිසා එය අපේ රටේ ජනතාවට ලබා දීම යනු එම ජනතාව යොදා ගෙන එන්නත් පරීක්ෂාවක් සිදු කිරීමකට සමාන බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි. එහි තුන්වන අදියරේ පර්යේෂණ වල දත්ත නැතැයිද එය ජනතාවට ලබා දීම භයානක බවද රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.
කෙසේ නමුත් සිනොෆාම් එන්නත ආනයනය කිරීම සඳහා හදිසි හා විශේෂ තත්වයක් සේ සලකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා දී ඇත. අදාළ අවසරය ලබා දී ඇත්තේ හදිසියේ එම අධිකාරියට පත් කරන ලද ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපතිවරයා විසිනි. ඒ අනුව චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පළමු එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබීමට නියමිතය. මෙම චීන එන්නතට අවසරය ලබා ගැනීම සදහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රබලයන් ඉවත් කල බවටද මීට පෙර චෝදනා එල්ල විය.
මේ අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙරටට ලැබෙන සිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ගේ භාවිතය සඳහා යොදා ගන්නා බවය.
අදාළ චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය පවා හිමිවී නොමැත. එසේ තිබියදී ඖෂධ නියාමන අධිකාරිය ඊට අවසරය ලබා දීම සම්බන්ධයෙන් බරපතල සැක මතුවී තිබේ.
එසේම මීට අවසරය ලබා දුන් ඖෂධ නියමන අධිකාරියේ ප්‍රධ්නා විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාද මේ සතියේ සිය ධුර කාලය අවසන් කරනු ලබයි.
අදාළ චීන එන්නත ලබා ගෙන දින දෙකකට පසුව පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් හට කොවිඩ් ආසාදනයවී ඇත. එසේ තිබියදී මෙම චීන එන්නත් මෙරටට ගෙන්වා ජනතාවට ලබා දීම බරපතල කාරණයක් බව සෞඛ්‍ය සේවක මතය වී තිබේ.

Share with your friends :