27 C
Colombo
18/01/2025

කුරුඳු සිගරට්ටුව මගින් දුම්වැටි ප්‍රවර්ධනය කරන බවට විමල් වීරවංශට වෛද්‍යවරුන්ගෙන් චෝදනා

Share with your friends :

කුරුදු දුම්වැටිය නිෂ්පාදනය කිරීමේ දී මෙරට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.
මෙම කුරුදු දුම්වැටිය නිපදවමින් පසුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක වී ඇත්තේ මෙරට දුම් පානය නොකරන 84%ක් වන කාන්තාවන් සහ පාසල් දරුවන් බව ද මෙම කුරුදු දුම්වැටිය මගින් දුම්පානය නොකරන අයටද දුම්බීමට පෙළඹීමක් වක්‍රාකාරයෙන් සිදුකරන බවද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතනවලට දැනුම් දී ඇත.
මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම නිෂ්පාදනය හරහා දුම්වැටි භාවිතා කරන්නන් ගලවා ගැනීම කෙසේ වෙතත් අලුතෙන් පිරිසක් දුම්වැටි සඳහා යොමුවීම සිදුවිය හැකි බවයි. මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව පවසන එම සංගමය මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සහ දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දැනුවත් කර තිබේ.
මෙම දුම්වැටිය පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් බහුතරයකගේ විරෝධය එල්ල වී ඇති අතර වෛද්‍යවරු පෙන්වා දෙන්නේ පිරිසිදු වාතය හැර වෙන කිසිවක් පෙනහළුවලට සුදුසු නොවන බවයි. කුරුඳු ඖෂධයක් වූ පමණින් එහි ධූමය පෙනහළුවලට සුදුසු නොවන බවත් ‍එම වෛද්‍යවරු පෙන්වා දෙනවා. මේ හේතුවෙන් පෙනහළුවල ආසාදිත තත්වයන් ඇතිවිය හැකි බවත්, කැස්ස, ඇදුම වැනි රෝග තත්වයන් ඉක්මවා ගොස් දරුණු පෙනහළු රෝගී තත්වයන් පවා ඇතිවිය හැකි බවත් වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙති.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීම මත කුරුඳු භාවිතයෙන් නිෂ්පාදනය කළ සිගරැට්ටුව හඳුන්වා දුන් අතර හඳුන්වාදීමේ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ මෙවැනි දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම සියලු දෙනාගේ වගකීම බවයි.

Share with your friends :