27 C
Colombo
19/01/2025

ප්‍රශ්නගත සිංහරාජ ඉඩම ගැන විමර්ශනයක් කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි

Share with your friends :

හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇතැයි කියන සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාවය පිළිබඳ පුර්ණ විමර්ශණයක් සිදුකරන්නට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
මෙම අක්කර හතක ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ එය කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම බව ඇමතිවරයා පවසයි.
එම ඉඩමේ වටිනා ගස් තිබුනි නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී ඇතැයිද කී ඇමතිවරයා එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ද ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව තහවුරු කර ඇතැයිද මෙම ඉඩමට අයිතිය ප්‍රකාශ කරන තැනැත්තන් ඔවුන් එහි නිවාස ඉදි කරන බව පැවසුවත් සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා වී ඇතැයිද නිවාස ඉදිකිරීමට බව කියමින් හෝටලයක් ඉදිකිරීම යනු නිලධාරින් හා වගකිව යුතු ආයතන නොමග යැවීමක් වන අතර එය බරපතළ වරදක් බවද කියා සිටී.
මේ අතර අක්කර 7 රූට් 3 පර්චස් 25 ක මෙම ඉඩම 2020 ජුලි 2 වැනිදා විකුණා ඇත්තේ රුපියල් එකොලොස් ලක්ෂ හා අටදහස් එකසිය අසුවක මුදලකටය. මේ තරම් විශාල ඉඩමක් දැනට මාස අටකට පෙර මෙතරම් අඩු මුදලකට විකිණීම පවා සැක කටයුතු බව බොහෝ දෙනා පවසති.
මේ අතර වනාන්තර විනාශය නතර කරන ලෙස ද සිංහරාජ වනාන්තරය ආරක්ෂා ලෙස ද පසුගිය දිනවල සිරස රූපවාහිනියේ වැඩසටහනකදී භාග්‍යා අබෙිරත්න දැරිය හඬ නැගීමත් සමග මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු විය.

Share with your friends :