27 C
Colombo
19/01/2025

අලුත් පාරක් හදන්න ඇලහැර දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ වන විනාශයක්

Share with your friends :

ඇලහැර යෝධඇළ ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යෑමේදී වසර 200 ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබේ.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත්වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යෑමට මාර්ගය සකසා ගතහැකි බවය.

මෙම ගස් කැපීම සිදුවී ඇත්තේ ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම සඳහා නව මාර්ගයක් හා පාලමක් ඉදිකිරිමට ව්‍යාපෘතිය භාර නිලධාරින් කටයුතුකර තිබේ.

ප්‍රදේශවාසින් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාඛ 2,000ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණු කර ඇති ආකාරය දක්නට ලැබෙන බවය.

වෙලන්, මොර, කෝන්, කුඹුක් ඇතුළු වටිනා ශාඛ රැසක් මේ වනවිටත් කපා දමා රැගෙන යෑම සඳහා සුදානම්කර ඇති ආකාර දැකගත හැකි විය.

මේ අතර බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අක්කර දහයකට ආසන්න වගුරු බිම් ගොඩකරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වනජීවී නිලධාරීන් විසින් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ද සමගිනි.

සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබුණි.

එවන් පසුබිමක අද (16) මෙම ස්ථානය නිරීක්ෂණයට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා එහි පැමිණ සිටියහ.

එම අවස්ථාවේදිත් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියට ටිපර් රථ මගින් විවිධ අපද්‍රව්‍ය ගෙනවිත් වගුරුබිම් ගොඩ කරන ආකාරය දක්නට ලැබුණි.

එසේම ඩොසර් යන්ත්‍ර යොදා ගනිමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන අයුරු ද දක්නට ලැබේ.

ඔවුන් මෙලෙස වගුරුබිම ගොඩකරනු ලබන්නේ ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් “මෙම ස්ථානයේ ගොඩකිරිම්, ඉදිකිරිම් හෝ සංවර්ධනය කිරීම සපුරා තහනම් වේ” යනුවෙන් දැන්වීමක් යොදා ඇති පසුබිමකය.

මේ අතර රූමස්සල කන්ද මැදින් යද්දෙහිමුල්ල සහ සාම චෛත්‍ය සහිත ගම්මානවලට යෑමට ඇති මාර්ගය තාර අතුරා සංවර්ධනකර දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ රූමස්සල කඳු පිවිසුමේදී උද්ඝෝෂණයක නිරතවිය.

අද (16) පෙරවරුවේ පැවති උද්ඝෝෂණය විසිරුවා හැරීමට එහි ගිය හබරාදුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.

adaderana.lk

Share with your friends :