27 C
Colombo
19/01/2025

බුර්කා තහනමක් නැහැ – ඇමති කෙහෙළිය සහ විදේශ ලේකම් කොළඹගේ පවසති

Share with your friends :

බුර්කාව තවමත් තහනම් කර නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

බුර්කාව තහනම් කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් තබන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසීමේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ඇති විය යුතු බවද පැවසූ ඔහු ඒ සඳහා යම්කිසි කාලයක් ගත යුතු බවද පවසා තිබේ.

මේ අතර බුර්කා තහනම සම්බන්ධයෙන් ඇමැති සරත් වීරසේකර අත්සන් තබන ලද කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට පවා ගෙන නැත.
ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතුකර තිබෙන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඉන් පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක්ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක්වන අතර එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.
රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇති බවත් ඉන් පෙන්වා දෙයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් මෙරට තුළ බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පසුගියදා සඳහන්කර තිබුණි.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මිරිහාන පොලීසියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී යළිත් ඒ පිළිබඳව අදහස් පළ කර තිබේ.
“ඔව්, ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා,” යනුවෙන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එහිදී පවසා ඇත.

Share with your friends :