ඇමති ගෝලබාලයන් පිරිසකගේ ස්ථාන මාරුවීම් අවලංගු කරන්නට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් 2021 වසරේ වයඹ පළාත් සංවර්ධන නිලධාරී ස්ථාන මාරු 2021 මැයි 17 වැනිදා දක්වා කල් දමා තිබේ.අදාළ මාරුවීම් 2021 මාර්තු 15 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබිණි. අදාළ ස්ථාන මාරු ආණ්ඩුකාර නියෝගයෙන් කල් දමා ඇති බව වයඹ පළාත් ප්රධාන ලේකම්වරයාද පවසයි.
ඉදිරි සති කීපය තුල පළාත් සභා මැතිවරණය කැඳවීමට නියමිත අතර මැතිවරණ නීතිය අනුව ස්ථාන මාරුවීම් කල නොහැකි නිසා මැතිවරණය අවසන් වන තුරුම එම ස්ථාන මාරුවීම් කල් දැමෙනු ඇත.
වයඹ පළාතේ ප්රබල ඇමතිවරුන් දෙදෙනෙකුගේ සමීප අධාරකරුවන් යැයි පැවසෙන දෙළොස් දෙනෙකු පසුගිය සිකුරාදා ආණ්ඩුකාරවරයා හමුවීමෙන් පසු මෙම ස්ථාන මාරුවීම් කල් දමා තිබේ. අදාල සංවර්ධන නිලධාරීන් දෙළොස් දෙනාගේ ස්ථානමාරුවීම් අවලංගු කරන්නට මෙසේ මාරුවීම් කල්දැමීම නිසා මෙවර ස්ථාන මාරුවීම් ලද වයඹ පළාතේ සෙසු සංවර්ධන නිලධාරීන් පන්සීය පනහකට වැඩි පිරිසම අපහසුවට පත්ව සිටිති.
වයඹ පළාතේ සමුපකාර දෙපාර්තමේන්තුවේ උප කොමසාරිස් කාර්යාල වල සේවය කරන පිරිසක් මෙසේ ස්ථාන මාරුවී යාමට විරෝධය පළකර තිබේ. මේ පිරිස අතරින් වැඩි දෙනා 2005 වසරේ මොවුන් රාජ්ය සේවයට බඳවා ගත දින සිට එකම ස්ථානයක සේවය කරන පිරිස් වෙති.
මේ අය අතරින් ඇතැමුන් මාසයකට සේවයට වාර්තා කරන්නේ දින හතරක් හෝ පහක් බවටද චෝදනා පවතී. එසේම මෙම සමුපකාර සමිති හා විවිධ සමිති වලට විවිධ දුෂණ චෝදනා ඇති අතර මේ ස්ථානමාරුවීම් අවලංගු කර ගැනීමට උත්සහ දරන ඇතැමුන් වසර පහළොවක් තිස්සේ එම කටයුතු වලට විව්ධාකාර වලින් සහයෝගය ලබා දුන් පිරිස් බවටද චෝදනා තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුකාර වරයා මේ කිසිවක් ගැන දැනුවත්ව නොමැති බව දැනගන්නට ඇති අතර ඇමතිවරුන්ගේ ඉල්ලීම මත මාරුවීම් කල්දමන්න්නට උපදෙස් දී ඇතැයි පැවසේ.